එක එක හැඩෙන් කියවන්න

Monday, June 13, 2022

විලක විල් දිය මතට බැස එන්න රිසි සිතින්

කොහොම නුඹ උන්නාද අහසකට වී ඉතින්...?

රැයක හිස පිරිමදින සරත් සුළඟක අතින්

සඳක මුහුලස ලිහෙයි හන්තාන මුදුනතින්...

-මුදිත්-
2022.06.13
Image source: Internet


Wednesday, May 25, 2022

හෙට අනිද්දට 'තිහයි'...!

තෙරැපෙන මිනිස් පොදියක
හැමදාම හිමිදිර
රැගෙන යමි රන්තලිය,
ටාටා ලේලන්ඩ් වල..
අතෙකින් සල්පිල් ය - අතෙකින් පෝලිම් ය
ඒ වුණත් 'හැන්ඩ්සම්' 
මනමාලයෙකි නගරය...

සිරිත් සේ හැම හවසම,
පුදා දී යෞවනය
ඉනික්බිති ජීවිතය
සේරිවාණිජ අතට..
මිටින් ගෙන බාල කාසිය,
හැරී එමි තොටුපොළින්
උණ ගැනුණු විසාලා නුවරට...

සත් දිනක් මඟුල් කෑ
සිටු කෙනෙකු ගැන පුවත,
කියවා සිනහසෙමි
ඉතිහාස කතාවක..
නින්දට පෙර වරක් - සිපගමි පුරුදු පරිදිම
නුඹේ පින්තූරය
පසුම්බිය පතුලේ සුරකින...

-මුදිත්-
15.05.2022

සිතුවම: අන්තර්ජාලයෙනි.


Saturday, March 5, 2022

තුති මල් මිටකි, මට නැතියෙන් ගුරු පඬුරූ

අත්තටු මිසක කිසිවක් නොතිබුණු හිතට
තිබුණා සිහිනයක් දවසක පියඹන්ට
කීවා වරක් නුඹ, අහසේ හිඳ මෙ මට
"මා වෙත වරෙන්- දෙන්නෙමි තටු නුඹලාට"

තටු ඇති අය ම යති ඉහළින් මගෙ ඉසට
ඉගිලෙන්නට හැකිද ඒ ලෙස මිනිහෙකුට..?
නොතබා වරක් තව ඒ ගැන වද වෙන්ට
මතකයි වින්ද දුක දවසක පියඹන්ට

රැය දහවල ගෙවුණි වෙහෙසුණු හිස් බඩට
නුඹ නුදුටුවෙමි ඉන් පසු කිසිදා ඇහැට
ගුරුකොට තබා නුඹ කී වචනය පෙරට
ඉවසා ගතිමි දිවියේ මතුවුණ කහට

කාලය ගතව තටු වැඩිලා පිට දිගට
දැන් මා කුරුල්ලෙකි ඉගිලෙනු හැකි හැඩට
තුති මල් මිටකි මා ගෙන ආ ඔබ සැමට
එහි ලස්සනම මල් බාරයි නුඹෙ නමට

-මුදිත්-
2022.03.05



Friday, February 4, 2022

(ඒ)ටිපිකල් කතාවක්...


ඉතිහාසයක් පුරා, අඩු පාඩුවක්- පංගු පේරුවක් නැතිව සැනසිල්ල බෙදා දුන් වෙරළක්.. ඇස් මට්ටමට තරමක් ඉහලින්, හැන්දෑ දම් පාට ඉහිරෙන්න පටන් ගත් අහසක්.. මධු සාද සුන් බුන් - ටින් බෙලෙක් බෝතල්.. 
ඒක ටිපිකල් වෙරළක්...

ඈ ආවේ ඔහුගේ බාහුව වැරෙන් බදාගෙන. 
අත් හරින්න නොදෙන තාලේ බැම්මක්. 
කරේ එල්ලුනු මල්ලක්.. 
අතක හිරවුණු, ලොකු පොඩි මල් පිපුණු කුඩයක්.. 
ඈ ටිපිකල් කෙල්ලක්...

ඔහු ආවේ ඈ තදින් එල්ලුනු බාහුව දරාගෙන.
දෑස් මත තිබුණා අත් හරින්නෙම නෑ කියන බැල්මක්.
කරේ තිබුණෙ නෑ එල්ලුනු මල්ලක්,
ඒත් අතක තිබුණා එල්ලුනු හෙල්මට් එකක්..
ඌ ටිපිකල් කොල්ලෙක්...

ඒ වගේ වෙරළකට, ඒ වගේ හැන්දෑවකට අංගසම්පූර්ණ වෙන්න මහ ගොඩක් දේවල් ඕනෑ වෙන්නෙ නෑ.

හෙමි හෙමින් බැඳෙන අත් ඇඟිලි.
සීරුවෙන් ලිහෙන අත් ඇඟිලි..
හුරු අත- නුහුරු අත,
නුහුරු අත- හුරු අත.
හුරු- නුහුරු, නුහුරු- හුරු,
ආයෙමත් බැඳුන අත් ඇඟිලි..

එතැන තිබුණා දිවුරුම් දහසක්. රැළි අවුත් යන පමාවට, වෙරළ මත ලියැවුණු ගිවිසුම් ම දස දහසක්. දම් පාට, අළු පාටකට හැරුණා. ගිහින් එන්නම් කියාගෙන ඉරත් ගිලුණා. ඒක ටිපිකල් දවසක්...

*****
ඈ ආවේ හඬමින්. ඔහුගේ අත තදින් ගසමින්. කරේ එල්ලුනු මල්ලක්. අතක හිරවුණු කුඩයක්. එදා වාගේ නොවුණත්, තවම ටිපිකල් කෙල්ලක්.
ඔහු ආවේ ඈ වෙත යමක් කියමින්. කරේ තිබුණේ නෑ එල්ලුනු මල්ලක්. ඒත් අතක තිබුණා එල්ලුනු හෙල්මට් එකක්. එදා වාගේ නොවුණත්, තවම ටිපිකල් කොල්ලෙක්.
හැන්දෑව බෝ වුණේ ඉර හැරෙන්නත් කලියෙන්. ඔහු ගියා ඇයට පියවර දෙක තුනක් ඉස්සරහින්, ඈ ගියා ඔහුට පියවර දෙක තුනක් පස්සෙන්. එතැන තිබුණා රතු වුණු ඇස්.
විද්‍යුත් චුම්බක තරංග වල එල්ලීගෙන කෙටි පණිවුඩ ඉගිලුණා වේගයෙන්, එහෙටත්- මෙහෙටත්. මේත් ටිපිකල් දවසක්...

*****
ඉතිහාසයක් පුරා, අඩු පාඩුවක්- පංගු පේරුවක් නැතිව සැනසිල්ල බෙදා දුන් වෙරළක්.. ඇස් මට්ටමට තරමක් ඉහලින්, හැන්දෑ දම් පාට ඉහිරෙන්න පටන් ගත් අහසක්.. මධු සාද සුන් බුන් - ටින් බෙලෙක් බෝතල්.. ඒ අතර මිනිස් පොකුරක්. ඒ මිනිස් පොකුර මැද, ඈ නිසොල්මන් කෙල්ලක්..

ඈ අවුත් තිබුණේ දිය රළක අත තදින් බදාගෙන.
ඈ එදා උන්නෙ තනියෙන්.
ඈ ව වෙරළෙන් තියපු දිය රළ, ගිහින් තිබුණා ආයෙත්.
කරේ පැටලී තිබුණා මල්ලක්.
කියන්නට යමක් තිබුණා වගේ පෙනුනත්, ඈ මුව පිරී තිබුණා සිහින් වැල්ලෙන්.
ඉරත් නැවතී බලා උන්නා මොහොතක්, ගිහින් එන්නම් කියා නොපෙනී ගියා ඈතින්...

*****
ඉතිහාසයක් පුරා, අඩු පාඩුවක්- පංගු පේරුවක් නැතිව සැනසිල්ල බෙදා දුන් වෙරළක්.. ඇස් මට්ටමට තරමක් ඉහලින්, හැන්දෑ දම් පාට ඉහිරෙන්න පටන් ගත් අහසක්.. මධු සාද සුන් බුන් - ටින් බෙලෙක් බෝතල්.. 
ඒක ටිපිකල් වෙරළක්...

ඈ ආවේ ඔහුගේ බාහුව වැරෙන් බදාගෙන. 
අත් හරින්න නොදෙන තාලේ බැම්මක්. 
කරේ එල්ලුනු මල්ලක්.. 
ඈත් ටිපිකල් කෙල්ලක්...

ඔහු ආවේ ඈ තදින් එල්ලුනු බාහුව දරාගෙන.
දෑස් මත තිබුණා අත් හරින්නෙම නෑ කියන බැල්මක්.
කරේ තිබුණෙ නෑ එල්ලුනු මල්ලක්,
ඒත් අතක තිබුණා එල්ලුනු හෙල්මට් එකක්..
ඌත් ටිපිකල් කොල්ලෙක්...

“මේ බලන්නකො මේක...!”
ඇගේ පාමුල තිබුණා වැල්ලෙන් වැහී ගිය, ලොකු පොඩි මල් පිපුණු කුඩයක්...

*****
-මුදිත්-
04.02.2022

Image: Dark Beach by Ellen Mulligane



Sunday, January 30, 2022

මඟුල් සලකුණු...

සංසාරයම පිරිසිඳ
ගෙවා ආවෙම් මේ දුර,
නග්න දෙපයින් පියමැන...

වෙහෙසී පලක් නැත,
මැදී ගිය පතුල් මත
සොයා මංගල සලකුණ...

-මුදිත්-
2022.01.30