එක එක හැඩෙන් කියවන්න

Monday, December 27, 2021

මිස් වේවි මම හෙටත්...

"කොයි තරම් ෆොටෝ ගත්තත් බලන්නකො, ඔයාගෙ එකම එක ලස්සන ෆොටෝ එකක් නැති හැටි.."
-මිතුරියක්-

නින්නාද දී නැගෙන කවිය, එළිවැට බින්ද
දම් පාට හැන්දෑව අහස කෙළවර ඇන්ද
ගංගාව මත අතැර මහනෙලක මකරන්ද
සංකාව මේ තරම් වර නගනු කවුරුන්ද

දුරින් පිපි මදහසය මං ළඟට ළං නූන
පුරුද්දකි ඇස කඳුළ කැමරාව මට ගේන
දුරුත්තක සීතලෙන් හිරි වැටී හිත හීන
උරිස්සක සැඟවුනිද රෑ සඳේ ඇගෙ මූණ

බිඳෙන වැව් දිය මතම තව සොයමි සඳ බිඹුව
රිදෙන හැම මොහොතකම පිරිමදිමි සිත මුදුව
සිඳෙන බව දැන දැන ම තත් පෙළන රැය, නුඹව
ඇඳෙන සිතුවම් පෙළට අරගනිමි මතකැ'තුව

ඉස්සර ම මතකයක පැහැයක් ව නැවතුනත්
අස්වසන සුරත වී හිඳින්නෙමි නුඹ ලඟත්
දිස්නෙ දෙන තරු අතර සැරිසරමි, ඒ වුණත්
ලස්සන ම පොටෝවල මිස් වේවි මම හෙටත්

-මුදිත්-
27.12.2021


Painting: "Photographer" by Vera Dorkina

Saturday, December 4, 2021

හඳුනාගැනීමේ පෙරෙට්ටුව

ඔබ මැවූ මිනිසෙකුම ද,
මේ දැවෙන්නේ මා පසෙකින්..?

බොහෝ කල් වැයකොට
කිම ඔබ මැවූයේ මිනිසෙකු,
ඔබ වෙත අඳ ව නොබැඳුණු...?

නුඹේ දෙව් නාමෙන්,
වෙන් කළෙම් මූල ධාතුවටම..
පළමුව අත් පයෙන්, 
දෙවනුව ගලින් - පොලු මුගුරෙන්,
ඉනික්බිති සුවිශුද්ධ ගින්නෙන්...

එයින් පසුවය දුටුවේ
ලෙය ද මස් ඇට නහර
සම සම ව ඇති බව..
ඔබ සුවච පුත්  මා මෙන්
එක ලෙසම පිහිටිය බව...

උතුම් වූ දෙවිඳුනි
බලා මේ පින්තූරුව,
දන්වා එවනු මැන දේව පණිවුඩයක
මේ දැවෙන මිනිසා ද
ඔබ මැවූ මිනිසෙකුම ද...?

-මුදිත්-
2021.12.04


සටහන: 
පාකිස්ථානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වූ ප්‍රියන්ත දියවඩන මහතා, සිය සේවා ස්ථානයෙහි අලවා තිබූ ඉස්ලාම් අන්තවාදී සංවිධානයක පෝස්ටර් පත්‍රිකාවක් ගලවා දැමීම හේතුවෙන්, එහි සේවය කල, එකී ආගමික අන්තවාදයට සම්බන්ධ පිරිසක් විසින් අමානුශික ලෙස, මරණයට පත්වන තෙක් පහර දී, ඉනික්බිති ගිනි තැබූ පුවතක් ඉකුත් දා වාර්තා විණි. එකී පුවත හා සබැඳිව සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඉහත ඡායාරූපයෙහි දැක්වෙන්නේ සිය පිරිවර විසින් වධහිංසනයට ලක්කොට මරා දැමූ "මිනිසාගේ" දැවෙන සිරුර පසුබිම් වන පරිදි හිඳිමින් 'සෙල්ෆි' ඡායාරූපයක් ලබා ගන්නා තවත් "මිනිසෙකි" .

Saturday, November 6, 2021

Enemy (2013)

     මිනිස් සන්තානය ඇතුලෙ බලාපොරොත්තු සහ ආශාවන් ට තියෙන්නෙ මොන විදිහක වටිනාකමක් ද? එහෙමත් නැත්නම් මිනිහෙකුට ආශාවක්, බලාපොරොත්තුවක් කියන්නෙ මොන ආකාරයක දෙයක් ද? සරලවම කියනවා නම්, මිනිහෙක්ව ඊළඟ තත්පරය වෙනුවෙන් තමන්ගෙ ජීවිතයට අලවලා තියාගන්න මැලියම වෙන්නෙ බලාපොරොත්තු සහ ආශාවන්. ඒ අර්ථයෙන්, ආශාවන් සහ බලාපොරොත්තු මිනිසාව ජීවත් කරවනවා. නමුත් යම් මොහොතකදි මේ බලාපොරොත්තුවක, එහෙමත් නැත්නම් අසීමිත ආශාවක වෙන බිඳවැටීම ඒ පුද්ගලයාගෙ ජීවිතයෙ මොන විදියෙ කඩාවැටීමකට හේතු වේවිද..?

     Anthony කියන්නෙ නළුවෙක් වෙන්න හීන දැකපු මනුස්සයෙක්. වගකීම් වලින් මිදුනු සෙල්ලක්කාර ජීවිතයකට ආසා කරපු මනුස්සයෙක්. කොහොම නමුත් චිත්‍රපටි කීපයක සුළු චරිතයකට දෙකකට තමන්ගෙ මේ නළු හීනය සීමා කරන්න Anthony ට සිද්ධ වෙනවා. ඒ වගේම වගකීම් විරහිතව, විවිධ කාන්තාවන් ඇසුරේ ගෙවන්න ආසා කරපු ජීවිතය වෙනුවට විවාපත් වෙලා, දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්න තමන්ගෙ බිරිඳගෙත්, ඒ වගේම තමන්ගෙ අම්මගෙත් වගකීම් බර පැටවුනු ජීවිතයක් ගෙවන්නත් සිද්ධ වෙනවා.

     Adam කියන්නෙ ඉතිහාසය ආචාර්‍යවරයෙක් විදියට රැකියාව කරන, ඒකාකාර නීරස ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. ආශාවන් අවුලනසුළු පෙම්වතියක් ඔහුට හිටියා වුනත් ඇය එක්ක තියෙන කායික සම්බන්ධය පවා අර කියපු ඒකාකාර රටාවේම තවත් එක සිදුවීමක් විතරයි. 

     චිත්‍රපටය පටන්ගැන්මේ ඉඳන්ම චිත්‍රපටය පුරා ඇඳෙන කුතුහලය මිශ්‍ර 'වෙනස්' හැඟීම තියෙනවා වුනත් චිත්‍රපටයෙ එක පීක් එකක් විදියට, මුලින් කියපු චරිත දෙක ප්‍රේක්ෂකයාට දකින්න ලැබෙන අවස්ථාව හඳුන්වන්න පුළුවන්.  ඇත්තෙන් ම Anthony සහ Adam දෙන්නා රූපයෙන් සර්වසමයි. තවත් ටිකක් ඉස්සරහට මේ ආඛ්‍යානය ගලාගෙන යද්දි මේ දෙන්නාගෙ කටහඬවල් පවා සර්වසම බව පේන්න ගන්නවා. මේ විදියට ගලාගෙන යන චිත්‍රපටයෙ කෙළවර මොන වගේ එකක් වේවිද? ඇත්තටම Anthony සහ Adam කියන්නෙ කවුද? චිත්‍රපටයට අනුව Anthony ගෙ ජීවිතයට Adam ගෙ පැමිණීමත්, ඒ වගේම Adam ගෙ ජීවිතයට Anthony ගෙ පැමිණීමත් කියන කාරණාව මේ චරිත දෙකට කොයි විදියෙ බලපෑමක් වේවිද..?

     ඉතින්, මේ කියපු චරිත ද්විත්වය විසින් ඔබට මට කියන්න උත්සාහ කරන යම් දෙයක් තියෙනවා. ඒ තමයි දිනෙක ඔබටත් මටත් මුණ ගැහෙන්න ඉඩ තියෙන සතුරෙක් ගැන.  චිත්‍රපටය ඉඳුල් කරන්නෙ නැතිව කතාව මීට වඩා එහාට කියන් යන්න අමාරුයි. Anthony සහ Adam යන චරිත ද්විත්වයටම පණ පොවමින් Jake Gyllenhaal, psychological thrillers ඇතුලෙ තියපු තමන්ගෙ ලකුණ ඒ විදියටම මේ චිත්‍රපටය ඇතුලෙත් තියලා තියෙනවා. ඒ වගේම Denis Villeneuve ගෙ අධ්‍යක්ෂනයත්, ඇහැටත් මනසටත් අමිහිරි නොවෙන විදියට චිත්‍රපටයෙ ආඛ්‍යානය ඇතුලට රූපක ගෙන ආපු විදියත් මේ කෙටි සටහන ඇතුලෙ මතක් කළ යුතුමයි. මෙතැනින් ඔබ්බට චිත්‍රපටය නැරඹීම ඔබට ඉතිරි කරලා, චිත්‍රපටය ආරම්භ වෙන තැනින් මම සටහන අවසාන කරන්නම්.

" Chaos is order yet undeciphered"

මම හිතන්නෙ ඔබේ movie list එක ඇතුලෙ මේ චිත්‍රපටයට ඉඩක් වෙන්විය යුතුමයි.





-මුදිත්-
2021.10.31

Sunday, October 3, 2021

තෙමෙන්නම ඕන...

     "දැන් නම් අඩුවෙලා යයි.." මං එහෙම කිව්වත් මෙහෙම වැහි තව සෑහෙන වෙලාවකට ඉවර නොවෙන බව මං දැනන් හිටියා. ඒත් මං මගේ අසල්වැසි මගියාට බොරුවක් කිව්වා. ඒ සමහරවිට මේ පුංචි පියැසි තීරුව ඇතුලෙ තියෙන සුව පහසුව තව කෙනෙක් එක්ක බෙදාහදාගන්න තියෙන නොකැමැත්ත වෙන්නත් පුළුවන්, එක්කෝ මිනිහා, තමන්ගෙ අතේ තිබුණු කුඩේ ගැන වැඩි තක්සේරුවක ඉන්න බව මට ඇඟෙව්ව නිසා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් ඒක වචනෙකට ගන්න බැරි මොකක් හරි හැඟීමක් එක්ක මතු වුණු හේතුවක් වෙන්නත් පුළුවන්. කොහොම වුණත් වැස්ස තුනී වෙන්න හදන බව පෙන්නන්න අහස මවාපාපු ලකුණු වලට, කුඩයක් අතේ තිබුණු උජාරුවත් කවලම් වුණු නිසා මිනිහා ඒ තුනී වැස්සෙ එළියට බැස්සා.

     කාලයක් තිස්සෙ මේ වැස්ස හුරු නිසාත්, කුඩයක් පාවිච්චි කරන පුරුද්ද අතෑරල දාපු නිසාත් තව ටිකක් වෙලා මේ පියසි තීරුව යටට වෙලා වැස්ස දිහා බලන් ඉන්න මං තීරණය කළා. දැන් මං ඉස්සරහ තියෙන කෙලින් විහිදෙන පාර දිගේ, පේන දුරකට ඉන්න එකම ප්‍රාණියා අර තරුණයා විතරයි. දහ අටක් ඇති වයස, ඒක එහෙම නම් මගේ වයසෙන් හරියටම බාගයක් ඇති. වැස්සකට තෙමෙන්න බැරි වයසක් නෙමෙයි ඒක... මට මගේ කල්පනාවෙ මිනිත්තු දෙකක් නැත්නම් තුනක් ඉන්න ලැබෙන්න ඇති, වැස්ස එක පාරටම කීප ගුණේකින් සැර වැඩිකළා. ඒක කුඩේකට කොහෙත්ම දරන්න පුලුවන් වැස්සක් නෙමෙයි. වැස්සත් එක්ක අන්දුන් කුන්දුන් වුණු තරුණයගෙ ඡායාව දිහා සුදු පාටට වැටෙන තද වැස්ස අතරින් මං බලාගෙන හිටියා.

     වැස්ස එක්කම ආවෙ තද හුළඟක්, මෙහෙම වැහි එක්ක හැමදාම වගේ එන විදියෙ තද හුළඟක්. ඒ හුළඟ එක්ක ටිකක් වෙලා ඔට්ටු වුණු තරුණයගෙ කුඩේ ඊළඟ මොහොතෙ ඇඹරිලා යන හැටි මට වැස්ස අතරින් අපැහැදිලිව පෙනුනා. අවසානෙ අසීරුවෙන් කුඩේ අකුලගත්තු තරුණයා ආපහු මං ඉන්න දිහාවට පය තිබ්බා. මං හිතපු විදිහට ම ඉක්මන් අඩි.. ඒ කොහොම වුණත් තරුණයා මෙතෙන්ට නො එන බව මම එතකොටත් දැනන් හිටියා. හරියටම හරි... තරුණයගෙ වේගෙ අඩු වුණා. පියවර දහයක් වත් නෑවිත් මිනිහ නැවතුනා. මං හිතපු හැටියටම ආපිට හැරුණා. මේ තරම් තෙමුණට පස්සෙත්, ආයෙ මොකටද හෙවණක්..? තරුණයා ශාන්තදාන්තව යන්න ගිය දිහාවට ඇවිදන් යන්න පටන් ගත්තා.

     "සමහර වැහි තියෙනවා, ඒවට තෙමෙන්නම ඕන.." වැස්ස නවතින්න තව සෑහෙන තරම් වෙලාවක් යන බව දන්න හින්දම, මං හීතලට සිගරට් එකක් පත්තු කරගත්තා.


-මුදිත්-
2021.10.03

Image source: www.pinterest.com


Monday, September 20, 2021

පිනි මත ය - ඔය සිලිටි පා ලකුණ...

ඝනව එන සීතෙන්
මිහිදුමකි මා දෑස් මත්තෙන්..
හිරිකඩ ය - මල් පෙති මත
පිනි මත ය - සිලිටි පා සලකුණ,
දකිමි නැවතී මෙතෙකින්...

පසු හඹා එනු බැරි
මේ හැටි ම රළු පයකින්..
කොයි ලෙස ගලා ආවද
කෙටි කථාවක - දිගු ඡේද
නතර විය යුතු කුඩා තිතකින්...

හිරිකඩට එපිටින්
නුඹ ඇති නතර වී,
ඔය හිතට රිසි තැනෙකින්..

ශීතලම රැයෙහිත්
තුහින මිහිදුම් සළුව
තුරුළු කරගමි දෙඅතින්..
අතැර යනු බැරි සුවඳක්
තවමත් ඉතිරි වී ඇතියෙන්...

-මුදිත්-
2021.08.11


Painting: Mountains In The Mist by Joyce Combs