එක එක හැඩෙන් කියවන්න

Monday, February 22, 2021

'අහස' යැයි කී වරද..

සබඳ, 
අප මේ ගෙවන්නේ
පියාපත් ගෙත්තමකට 
'අහස' යැයි කී 
වරද ද...?

මල් පිපී මංමුලා වැල් මත ද,
අතරමං කළ සුවඳ ය
විසිරුන..
අහස මත දිගහැරිය යුතු පියපත්
විසුළ පොළොවකි
තැන තැන...

සබඳ, 
අප මේ ගෙවන්නේ
පියාපත් ගෙත්තමකට 
'අහස' යැයි කී 
වරද ද...?

සඳ තරු වළාකුළු 
හිඳුවා නියම කළ තැන්වල
ඉර පමණක් යනෙන ගමනකි
තනිවම..
සුරැකගත් තටු සඟල
අබරණක් පමනක් ද
බඳකට...?

සබඳ, 
අප මේ ගෙවන්නේ
පියාපත් ගෙත්තමකට 
'අහස' යැයි කී 
වරද ද...?


-මුදිත්-
21.20.2021

Photograph: 'Caged' by Mudith Vidanagamage

Sunday, February 7, 2021

සඳ නිවී ගිය රැයක...

ගිනි දැවී අවරගිර
ශේෂ කල භෂ්ම පොදියකි,
ගණඳුර..
පියමැන ගෙවා යා යුතු
සංසාරයකි රැය,
ඇස ලඟ...

ඔබ අතින් ගෙන දැල්වූ
තාරකා ඇස් පවා 
නිවී යන..
සිත පුරා හළාහල  විෂ ය,
මතකයක ඉහිරුණ
සඳ දිය...

චන්ද්‍ර බිම්බය මැකී ගියමුත්
අහසින් ඇස් මුදන්නට
බැරි කම,
සඳට නොව අහසටම
පෙම් කල හදවතිනි
වැළපුම...

-මුදිත්-
2021.02.05



 

Sunday, January 10, 2021

වෙලාව දහයයි. රෑ දහයයි. වහළෙ උළු උඩට තාලෙකට වැටෙන වැස්සෙ සද්දෙයි, යාන්තමට ඇහෙන රේඩියෝවෙ සද්දෙයි, මමයි.

“ඔබ එන්න..
ඔබ ඇවිත් යන්න එන්න..”

රේඩියෝවෙන් ඇහෙනවා. ආදරණීය ඉල්ලීමක්.. මොරිස් විජේසිංහ ගෙ හඬ. ආදරණීය වස්සානය. හිත අස්සෙ අහුමුළු වල ගුලිවුණු සිංදු කීපයක් ඉතුරු කරපු ආදරණීය වස්සානය..

දවස් ගණනක් පුරාම නුවරට වහින වැස්ස ඉහිරවන හීතල, තවත් රෑක දියවෙවී කැටි ගැහෙන්නෙ නොස්තැල්ජියාවක්. හැඩයක් පාටක් නැති හැඟීමක්. හඬත් තනුවත් එක්ක මගේ හිත මං දැකපු ලස්සනම වස්සාන කීපය අතරට යනවා. ඒ මතකයත් අයිති මේ නුවරට. පේරාදෙණියට..

වැහි කාලෙ බව දැන දැනත්, කැටි ගැහෙන වැහි අඳුර පෙනි පෙනිත් කුඩයක් නැතුව කැම්පස් එක ඇතුලෙ හුරු පුරුදු තනි ගමනෙ ඇවිදන් ආපු හවසක්.. පොද වැස්සකින් පටන් අරන්, මහා ධාරාණිපාත වැස්සකින් කෙළවර වුණු දවසක්.. නහරයක් නහරයක් පුරා හීතල මිදුණු දවසක්...

කාලයක් යන තුරු ඒ වැස්ස වැස්සා. එළියකට බහින්න, ඇඳුමක් වේලාගන්න ඉඩක් නොදී වැහැපු ඒ වැස්ස අවසානෙ ඉතිරි කලේ අප්‍රසන්න හැඟීමක්. ඒත් ඒ හැඟීමෙන්, ඒ වස්සාන කාලෙ වැහැපු හැම වැස්සකම තිබුණු චමත්කාරජනක ලස්සන කෙළෙසෙන්නෙ නැති විදිහට ඒ වස්සාන කාලෙ මතකෙ ඉතිරි වෙලා තිබුණා. අදට ඒ වස්සානෙ අවුරුදු දෙකක් වත් පරණයි. ඒත් පහුගිය සතියක දෙකක කාලෙත් නුවරට වැස්සා. ඉස්සර වගේ විඳින්න ඉඩක් නොතියා ඒ වැස්සෙම උදේ පාන්දර නැගිටලා මෝටර් සයිකලේ නැගලා තෙමි තෙමී වැඩට යන්නත්, ඒ තෙත ඇඳුම් එක්ක හීතලේ පැය නමයක් රස්සාව කරලා ආයෙම තෙමි තෙමී ඒ විදියටම බෝඩිමට එන්නත්, මේ වැහි කාලෙ පුරාම සිද්ධ වෙලා තිබුණා. ඒ හැම දවසකම හවස තෙමි තෙමී බෝඩිමට ආවෙ තෙත ඇඳුම් මාරු කරලා, සරමක් ඇඳන් රස්නෙට ඇඳ රෙද්ද යට ගුලි ගැහිලා කෝපි එකක රස්නෙ එක්ක පොතක් කියවන රෑ පැය දෙක තුන මතක් කරන ගමන්..

අවසානෙ අද ඉරිදා නිවාඩු දවසට එළි වුණා. වැස්ස එහෙමම වැස්සා. මේ මොහොත වෙන තුරුම වහින්නෙ ඒ වැහැපු වැස්ස. දවල් දවසෙම ජනේලෙන් එළියෙ වහින වැස්ස දිහා මං සෑහෙන වෙලාවක් බලන් හිටියා. පහුගිය දවසක කියවන්න ලැබුණු පෝස්ට් එකක තිබුණා වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට කියලා. ඇත්ත, වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට... ඒත් ඒ ලස්සන දිහා බලාගෙන දවස ගෙව්වත් මගේ හිතේ අද දවසෙ අන්තිමට මොකක්දෝ හිස්තැනක් ඉතිරි වෙලා තිබුණා. මේ ටික ටයිප් කරන වෙලාව අතරෙ නොදැනිම සිංදු ගණනාවක් යන්න ඇති. මේ ටික හිතට එන්න පාර කපපු ඔබ එන්න සිංදුවත් නොදැනීම ඉවර වෙලා. අහන වාරයක් ගානෙ හිත ඇවිලෙන, ඒත් ආයෙ ආයෙ අහන්න හිත බල කරන “ඔබ නොදැක බැරුවා.. ඔබ නැතිව බැරුවා” කියන පද පේළි ටික නොදැනිම මගඇරිලා ගිහින්. මොරිස් ගෙ හඬින් ඒ ටික ඇහෙන හැම වාරෙකම අර මතක වස්සානෙට අයිති හීතල, උණුහුමක් වෙලා දැනෙන ඒ හැඟීමට හිතේ තියෙන්නෙ තද ආසාවක්. මග හැරුණු ඒ ආසාවත් එක්ක ආයෙම මට රේඩියෝවෙ ගැයුම ඇහෙන්න ගන්නවා.

“අහස ගුගුරා
අකුණු පුපුරා
මගේ හිත වැන්දඹු වුණා”

නන්දා මාලනියෙගෙ හඬ. මොහොතකට හිත වැන්දඹු කරන වචන ටිකක්.. තනුවක්.. හිතට දැනෙන හිස්තැන එක්ක මම ජනේලෙන් එළිය බලනවා. තවමත් වැස්ස. ඈත පාරෙ තියෙන ලයිට් කණුවක එළිය යන්තමට වැහි බිංදු වල දියවෙලා. ජනෙල් වීදුරුව පුරාමත් ඒ එළිය දියවුණු වැහි බිංදු. මේ වැහි බිංදු වලත් ඒ හීතලම ඇති. මම ජනේලෙ ඇරලා වීදුරුවෙ හැපි හැපී වැටුණු වැහි බිංදු වලට එන්න ඉඩ දෙනවා. ඇට මිදුලු වලටම කාවැදෙන තරම් වුණු හීතල.. සමහරවිට මේ වැස්ස මේ මොහොතෙ පේරාදෙණියටත් මෙහෙමම වහිනව ඇති. හවස් වරුව පුරාම හන්තානෙ මුදුන් තීරුව විතරක් පේන නොපෙනෙන තරමට මීදුම් කැරලි තියෙන්න ඇති. ධාරාණිපාත වැස්සට කලින් හන්තාන දිහාවෙන් ආපු හුළඟක් එක්ක හිරිකඩ රැල්ලකුත් යන්න ඇති. ඒ සේරම එක්ක මුළු පේරාදෙණියටම එකෙක් හරි ලඟ එන වැස්ස පෙනි පෙනී කුඩයක් නැතුව ම තනියම එළියට බහින්න ඇති. එන සතියෙත් මේ වැස්ස මෙහෙමම වහීවි.

ඔව්...
වැස්ස ලස්සනම නුවරට.. නුවර ලස්සනමත් වැස්සට... ඒක හැමදාම එහෙමම වේවි.

 

-මුදිත්-
2021.01.10



Friday, January 8, 2021

සුබ පැතුම් පත් කුමට...?

අත හැරෙන බව ලියා දැනුම් දී කල් ඇතිව
වැහි කඳුළු බර පවා අහසකට හුරු කෙරුව
හිම මිදුණ දුරුත්තක ශීතලෙන් ඇණ ගැසුව
හද ගැහුණ එක පවා පුදුමයකි ඔබ නැතිව

කාලයට තටු ලැබී හෘද තානය බින්ද
තාලයට ඉගිලුනේ කොතැන වුණ වරදින්ද?
ඔය ළයට හිස තියා සිතින් සිය වර වින්ද
ආලයට කල් පිරිනි නිහඬවම ඉකිබින්ද

තාරකා ඇස් අගින් රාත්‍රිය උරාගෙන
පායනා සඳ ඔබෙයි, අමාවක ඉරාගෙන
පීදෙනා සියපතක වේදනා දරාගෙන
ගීතිකාවක් නැගෙයි බෝ පෙරුම් පුරාගෙන

තැනි බිමට කඳුළු දෙන අඩ සඳට ඉඩ දෙන්න
පිනි ඉහුනු පෙති පවා සසැලුනි ද දුක දන්න
තුති පිදුම් සන්ධ්‍යාව මට එපා, නුඹ ගන්න
ඉතිරි වුණු මතකය ම මට ඇති ය නවතින්න

සියුම් රිදුමක් ඇතත් හදෙහි ගැඹුරුම තැනක
හැඬුම් දහසක් හඬා කඳුළු තවරා කුමට
කැලුම් දෙන සිනහවක් පැලඳ ගෙන එනු මිසක
රිදුම් පිරි සුබපැතුම් ලියා නොගෙනෙමි නුඹට

කරුවලෙක සඳ මඬල තුරුළු කරගමි ඇසින්
හුරු තැනක නතර වෙමි මතක අහුලන රිසින්
තරු ලකුණ රැය අහස මත තවම ඇති හෙයින්
තුරු හිසක මල් පිපෙයි හෙට පවා අප නමින්


-මුදිත්-
2021.01.02






Monday, November 30, 2020

එක්තරා එක් රැයක්...

ටික් ටික් ටික් ටික්...
තත්පර කටුවටත් වෙහෙසයි. 
මේ, තරු එකින් එක අහසට නැගෙන මොහොතයි. 
අහසටම ඇලුනු ඇස්, තරු එකින් එක විමසයි. 
දහක් - නැත සිය දහක් 
තරු කැබලි අතර වුව, 
හුරු පුරුදු තරු ඇසක් 
ඇසට ඇස ගැටෙන හැටි පුදුමයි...!

*** *** ***
 
වෙහෙසයි..
ඒ වුනත් 
තවම රැය ඇරඹුණා පමණයි.
රෑ කුරුල්ලෙක් ඈත හිඳ
රැයේ තත් සීරුවෙන් කොනහයි, 
බිඳුනු ස්වර හත අටක්
රැය පුරා නිදැල්ලේ පාවෙයි.

තරු එළියක් සොයා වෙහෙසුණු 
තවත් එක් දෑසක්
කදෝකිමි එළියකට රැවටෙයි,
ඔව්..,
ඇසක් නම් මුළා වී 
‍රිදුම් ‍නිදිවැරුමක්
වරක් වත් විඳ තිබිය යුතුමයි...

*** *** ***

"සමන් පිච්ච මල් ඉහිරුණු 
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට.."

කවියෙක් තව කවියකට
සීරුවෙන් ස්වර අකුරු අමුණයි..
කරුවලට රහසින් තාරුකා අතරත් 
ඇතැම් විට කවියක් ලියැවෙයි..
 
*** *** ***

හරියටම රෑ දොළහයි..
ඈනුමක් පිටකර - දෑත් දෙපසට දිගහැර
තරුවක් හුන් තැනින් නැගිටියි.
තව පෑ පහක් ඉතුරුයි,
සිගැරැට් එකක් ඇත්නම් කදිමයි..!
... ... ... ... ... ... ... ... ...

ටී ටයිම් ඉවරයි..!

ඉවසන්න, 
මේ අන්තිම කහට උගුරයි...

තවත් පෑ හතරකුත් මිනිත්තු පනහක් ම ඉතුරුයි...!

-මුදිත්-
2020.11.30


සිතුවම : "The Starry Night" by Vincent van Gogh
පසු සටහන : 
"සමන් පිච්ච මල් ඉහිරුණු 
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට" 
එස්. මහින්ද හිමි ගේ කවියකි.