එක එක හැඩෙන් කියවන්න

Wednesday, October 4, 2017

නෘත්‍යංගනා..

කඳුළු තුඩුවෙන් ඉගිල
සිහින සැරියෙන් පසුව,
බිම පතිත පියාපත
කටු ඇණුනු බඳ අතැ'ර..

මුදා අත් හළ බැවින්
නම නොදන්නා බිමක,
සැනෙළි පහනෙක ගොදුර
විය යුතුය මුදු අඳුර..

ගතෙහි සළු විනිවිදින
නෙතක අත් පහර මැද,
කඳුළු බිඳුවක් හිඳී
කොපුල් තලයෙක වැතිර..

නැගෙන ගී රාවයෙන්
මිදී, දුර යනු බැරිව,
පයේ හැපි හැපි හඬයි
අතරමං වූ ගිගිර...
                                                -මුදිත්-
                                        2017.09.30

Sunday, August 27, 2017

අලුත් දලුවක්...

සියලු මල් හා පත්- අත්හැර දැමූ පසුවත්
මකරන්ද අහුරක් -කර තියන් ආ සුළඟක්
මුමුණමින් තව තනුවක්
ඇරයුමකි අරඹන්ට යළි නැටුමක්...

නිසොල්මන් වී හිඳිද්දිත්
පාර වැරදුණු බඹරෙක්
හැරී අවුදින් විමසයි
නැතිද රොන් පිරි කුසුමක්...?

නොඇසුනා සේ හෙමිහින්
හිස පහත් කල පසුවත්
වැලි කැට අතර ඉඳ හිනැහෙයි
හදවත් හැඩැති ගල් පතුරක්...

නොදුටුවා සේ සිටියත්..

පොළොවට පාත් වුණු අත්තක්
ගසටත් හොර හොරෙන් පුබුදයි
යළි මල් පිපිය හැකි පැතුමක්....
                                             -මුදිත්-
                                      2017.08.22

Wednesday, August 9, 2017

එ'දවසින් පසු...

ඉර උදාවක් නොවුණද
ඇතැම් අරුණෝද වල,
නො අඩුව - මල් පිපී තිබුණා
ඉපැරැණි සුබපැතුම්පත් මත
එලෙසම..

උයනෙහි උයන් දොර පාමුල
මග බලන මගියෙක් ය
කාලය,
පෙරල පෙරලා
පැරණි පින්තූර ඇල්බම,
ප්‍රේමයැයි කිව හැකි යමක්
සැඟව ඇත්දැයි විමසන..

රැහැනින් මුදාහල පසු
ඉගිලී ගිය ම'හදවත
උයන කෙළවර අසුනක
සදාකාලික නින්දක...
                                                   -මුදිත්-
                                           2017.07.30

Thursday, July 27, 2017

පිළිතුරක්....

දන්වා එවු නමුත්
කෙටිම කෙටි පණිවුඩයක,
අඳුරත්, පාළුවත් පමණක්
නුඹ අසල ගැවසෙන බව..

කලින් දන්වා නොපැමිණි
වසන්ත දෙක තුනක්
පසු කෙරුවද,
සොඳුර නුඹ නොදනී
මෙ'නුවර
කෙටි දිවා කලකුත්
දිගම දිග
රැයකුත් උරුම
හුදෙකලා සිසිරයක් බව...

                                        -මුදිත්-
                                2017.07.17


Painting :   "June's Ascension" - Timothy Rees {figurative art beautiful female standing woman digital painting}

Friday, July 21, 2017

නාටාමිගේ හිමිදිරියක්...

රැය අඳුරත් සමග ඉර පොරකන පැයට
කකියන නහර වැල් පිරිමැද එක දිගට
අහසට කලින් ඇහැරෙන කපුටන් හඬට
ඇහිපිය හරිමි එල්ලෙන නිදිගැට බරට

හිස්බඩ සනසනා පිටකොටුවේ කහට
තිත්තම පැණි රසයි කටගෑවම දිගට
ලෝකය ලොකු වැඩිය අප වැනි පොඩි අයට
පුංචි ම කුහුඹුවන් පෑගෙයි ලොකු පයට

ගරුතර තේජ ලීලාවෙන් වැඩ හිඳින
ලොරි පෙළ අලස ලීලාවෙන් මග බලන
කොළ, එළවලු පිරී තරවුනු මළු අහින
මේවා නොවෙද මගෙ හිමිදිරි සුබ දසුන

සිනහව නමැති, දුක සඟවන පිට පොත්ත
ගලවා බලන විට ඇතුලින් ඇති පැත්ත
කිසිදා වෙනස් නොවෙනා නොමියෙන ඇත්ත
කාරා ඉවත ලනු බැහැ දිවියේ තිත්ත
                                                                  -මුදිත්-
                                                          2017.07.16