එක එක හැඩෙන් කියවන්න

Sunday, June 12, 2016

"අප" යන අනුක්තය...

නුඹ,
  රැයෙක- ගණ අඳුරක..
  හිස්තැනකි
  කළු වළාවක් යට...

මම,
  බුබුළකි දැවී ගිය..
  සියළු වෙර ගෙන- නුඹ අස
  වරක් පමණක් දැල්වුණ...

                             -මුදිත්-
                     2016.06.11


Tuesday, May 3, 2016

මගහැරුණු උරහිසක්...

පතින් පත ලිහි ලිහී ජීවිතේ අතු පතර
රිදුම් කන විට නිබඳ හදවතේ මුදු නහර
මගහැරුණු උරහිසක්, වදන් හී සර අතර
ඇඳි ඇඳී යලි මැකේ සිහිනයක් සේ නිතර

                                           -මුදිත්-
                                    2016.04.27

Monday, March 7, 2016

නුඹ තවම ඔතැනම...?

පහන් සිළ නිවුණ පසු,
මඳක් පය බර කර
කළුවර තබා ගිය
පියවර..
එකින් එක
පිසදමනු ඇත
විදුලිය තිබෙන තුරු,
ලුමිනස් පහන් ඇස...

ඉදින්,
එ'පෙම් වතටත්
නමක් ඇති විට...

කළු වළා කැටිත්තක,
නොපෙනෙන්ට
පිනි කඳුළු හංගන,
අරුණ ගොඩවුණ හැටිය
මියෙන බව දැන දැන
එළිය..

අන්ධකාරේ තාරකාවිය,
නුඹ තවමත් තනිව ඔතැනම..?
පෙර දා බලාහුන් ලෙසටම...

                               -මුදිත්-
                        2016.03.05

Saturday, March 5, 2016

ෆාතිමා..

සුමුදු වත,
සඳ රැස
විඳින්නට,
රිසි ලෙස..

මෑත් කළ නොහැකිද
ටිකකට,
කවුළුව වසා ඇති
තිරපට...

                    -මුදිත්-
             2016.03.01



Monday, February 15, 2016

රැයේ ප්‍රේමය...

දෝත දී මඳනළකට
අසාගෙන
නාඳුනන මගතොට,
හෙමි හෙමින් එයි
හෙන්දිරික්කා සුවඳක්
සොයාගෙන බඹරෙකුගෙ හැඩරුව
පාන්දර සිහිනයෙක හමුවුණ..

ලොවට මුමුණා
ඉමිහිරි ම නැළැවිලි ස්වර
ලොවම නිදිගත් පසුව..
සළෙළු ඇස් මුළා කර
සඳ වඩියි වැව් තලයට..
නෙළුම් පතකින් වසාගෙන ළැම
වරල අතුරයි සීත දිය මත...

වළාකුල ඇහැ අරින්නට පෙර
පිනි බිඳක් රහසේම ඇවිදින්
තියයි සීතල දෙතොල
නෙළුම් කොපුලතක් මත..
බිඳුම් හඬෙකින් සෙමෙන් කොඳුරයි
යන්ට වෙන වග
හෙට පාන්දර...

                                          -මුදිත්-
                                  2016.01.24