එක එක හැඩෙන් කියවන්න

Sunday, December 28, 2014

ජීවිතේ දිගු වන්දනාවට ඉතින් මෙතෙකින් නතර වෙන්නම්...

කලා සොළසට හොරෙන් ඇඳෙනා,
නුඹේ වත හෙටටත් දකින්නම්..
දෑත බැඳගෙන ඈත සිටියත්,
සෙනෙහසින් ආසිරි පතන්නම්..
හැරෙන්නට මොහොතකට මත්තෙන්,
ආයෙමත් නැවතී දකින්නම්..
ජීවිතේ දිගු වන්දනාවට,
ඉතින් මෙතෙකින් නතර වෙන්නම්...

නුඹේ පියවර මතින් හෙමිහිට,
පා තබාගෙන ඇවිද ආ දා..
කොහේ කොතැනක නමුත් වැරදී,
දෙපා පැටලී ඇදන් වැටුනා..
කියාගන්නට අකුරු මදිවුනු,
කවිය නිහඬව ගොලුව ගියදා..
දෑස තදකර දැහැනකට වැද,
රහසේම ගොලුවෙලා උන්නා...

නිසල නිල් දිය පොකුණු දෑසට,
අවසාන පෙම් කවිය ලියමී..
නෑඹුල්ම හිරු කිරණ අහුලා,
නුඹේ ලෝකය එළිය කරමී..
හදේ පුදසුන -නුඹට වෙන් කළ,
සදා සුවඳැති මලින් සදමී..
තවත් භවයක මුණ ගැසෙන්නට,
රහසේම හිඳ පෙරුම් පුරමී...

 -මුදිත්-
 2014.12.28

Thursday, December 18, 2014

අපිට කොහෙන් වඩීද හෙට ඉරපාන...

ඉර සේවෙට කලින් රස්සාවට වඩින,
ඇටෙන් ඇටේ අහුලන් කන ගිරවාන,
මග වියදමටවත් නැති පඩිපත ගේන,
කොහෙන් දකින්නද තව ලස්සන හීන...

අල්ලට සිඟාවත් නොලැබුනු රස කැවිලී,
ඇල්මෙන් කළ අකුරු ණය වී ගියා වැනී,
බෝඩිම කුටුම්භය එක මත එක වැටුනී,
නාඬා ඉඳින් මගෙ දුප්පත් සඳ සාවී...

ණයවුනු හීන හැමදාමත් කල් දාන,
රෑ මැදියමෙත් කකියයි නෙත් නොනිදාම,
හූර හූර පඩිපත ගත් නිරිඳාන,
අපිට කොහෙන් වඩීද හෙට ඉරපාන...

 -මුදිත්-
 2014.12.18

සිරගත සබඳ..

දැවෙන හිරු ලඟ අසරණයි,
වැහිළිහිනියක සොඳුරූ..
ඇත්ත හිරකර ඉකිබිඳී,
මුවක් තොල් පිපිරූ..
වැට කඩුලු පසුකර ඉගිලුනත්,
හුදෙකලා කවි අකුරූ..
ඇත්ත පැණි රස වෙන තුරුම,
මක් කරම් පස මිතුරූ...

යකඩ දොර අබියස හිඳී,
ගතක් සිත වැහැරූ..
මුළු ආත්මය වසුරින් තවරගෙන,
සුදු අඳින උන් පැහැරූ..
රත් පියුමකට තව තල තලා,
දෙයි දෙතිස් වධ නපුරූ..
අද මළත් හෙට නුඹ ඉපදියන්,
රත් පියුම ගෙන මහරූ...

 -මුදිත්-
 2014.12.18

Friday, December 12, 2014

සී මැදුරු කෙලවර කවුලුවෙන්,
එබී නොබලන් කුමරියේ..
සිටු මන්දිරේ දොර බෝ දුරයි,
මගෙ කුටියෙ ඉඳ මහ වීදියේ...

බහින හිරු ලඟ පෙම් බඳියි..
අවර අහසම ලස්සනයි..
තරු ලකුණු එක දෙක දිගහැරෙනකොට,
හඳ පලුව වී නුඹ අත වනයි...

තව් තිසා ලොව හරි ලස්සනයි..
හීනයක කෙලවර නුඹ හිඳියි..
මේ පවුරු බිඳගෙන ඉගිලෙන්න බැරි,
ලෝකයක සෙනෙහස අසරණයි...

-මුදිත්-
2014.12.09
ළඳු දෙනි වල හැංගී ගිය,
ආදරයක පිය සටහන්,
මැකී ගිහින් අද රහසින්,
කාටත් නොකියා..
අපි අපිටත් නොකියා...

ගුරු පාරේ ලඟින් ලඟින්,
නෑ අද අපෙ පිය සටහන්..
අපේ කතා හංගාගෙන,
දොළ පාරත් සිඳී ගිහින්..
කාටත් නොකියා...

තරු මතුවුණු හැන්දෑවක,
මං තනියම ලියන කවිය,
නුඹට ඇහෙන්නට ගයන්න,
කුරුල්ලන්ට සරසවියට වඩින්න තහනම්..
වඩින්න තහනම්...

-මුදිත්-
2014.12.09