එක එක හැඩෙන් කියවන්න

Thursday, November 30, 2023

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට

නිමිත්ත: කුලී කාමරයේ බිත්ති පැල්මක දළු ලා වැඩෙන පැණි කොමඩු පැළයකි.


තෙත රැඳි ඉසව් නොදැනිම මගහැරුණාද

දළුලන හරිත රේඛා මග හැරියාද

සීනෙක පෙනුණු රහසක් මග කීවාද

නොලැබුණු යමක් වෙනුවෙන් මෙහි ආවාද


ඉඳහිට ඉහෙන දිය මිස, දිය මං නැතුවා

දුහුවිලි කහට කුණු මිස පොහොරක් නැතුවා

දළ රළු දළඹ මත මහ පොළොවක් නැතුවා

හෙමිහිට මුල් අදිනු මිස සරණක් නැතුවා


"ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට"

සීනෙන් වැටෙන විට මතකයෙ මහ හෙළට

මා වාගෙම උඹත් යනවා ඇති ගමට


ජීවයෙ රටා ඇඳ රළු බිතු කොපුල පිට

දුර නෑයෙකු ලෙසින් මට පෑ සිනහ කට

කොටුවුණු අගනුවර මුල් නැති පොළොවකට

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට


-මුදිත්-

30.11.2023


ඡායාරූපය අන්තර්ජාලයෙනි.

Monday, October 9, 2023

දැන් ඉතින් නිදහසේ සැතපෙන්න

ඉහළින් බොරව කැළඹුණු ගඟ දියකි නිතින්

ගුණ-දොස් නැගෙත, මනු දම් සැඩ රැළිති ලෙසින්

දෑලේ ඉවුරු තුරු සෙන් හිස් නමති සෙමින්

ඔබ පා වෙන්න පහළට මල් පියලි මැදින්


ජැක්සන් ඔබට සුව නින්දක්...!

-මුදිත්-
2023.10.09

සේයාරුව අන්තර්ජාලයෙනි

Tuesday, September 26, 2023

සිප් එක ඇරුනු ප්‍රේමය...

පොලිසිය විසින්, උද්‍යානයක අශෝබන ලෙස හැසිරුනු තරුණ තරුණියන් පිරිසක් අල්ලයි.
-පුවතක්-

තත්පර කටු - ඔරලෝසු මුහුණත්
බොරු කර,
මහ දවල් දොළහටත්
උදා වෙන්නට පුළුවනි රාත්‍රිය...

කියවගන්නට බැරිව සෘතුව,
නාඹර කදෝකිමියන් රෑන්
ඉගිලෙන්න පුළුවනි එහෙම දවසට..

වැස්ස, උඹ වැස්සේ
වැරදි දවසක...

"පබ්ලික් පාක්" ලෙස
වර්ණ ගැන්වූ මකුළු දැල් වල
කුරුකුහුඹු - කදෝකිමි,
ජෝඩු පැටලුණ හවසට,

ප්‍රේමයේ දිග පළල 
මිමි මැනගෙන,
"මොබයිල් ජිප්" එකක් එයි
ප්‍රේමයට නිර්වචන අරගෙන...

-මුදිත්-
26.09.2023

Saturday, July 15, 2023

ඈත මැදපෙරදිගේ නගරෙක - තනි උනා මම..

විදුලි එළි වමනය කරන
ඈත මැදපෙරදිගේ නගරෙක
තනි උනා මම..
ස්වර ඛණ්ඩ කීපයක්,
වියළි සුළඟක් එක්ක
තැන තැන - ඔබවත් එතැයි බල බල...

ඉතින් වැරදිලාවත්
ඔබ ගියත් දැක දැක,
නො එන බව
සහසුද්දෙන් ම දැන දැන...

එකෝමත් එක කලක
ඔබෙ ඔඩොක්කෙන් ගිලිහුණු
වියළි රටකජු පොතු වගේ..
විසිරුණා,
මේ වියළි හුළඟට මුහුවෙන
සියලු දේ (මමත් ඇතුලුව)..

බොහෝ දවසට
ඔබෙ උකුළ උඩ ඉතුරු වුණ
නවකතා පොත වගේ,
හුළඟකට බර වැඩි
කාරෙකක්, පුටුවක්, බිල්ඩිමක්..
හතරැස් ව නැවතුනා තැන තැන...

අන්තිමේ,
විදුලි එළි වමනය කරන
ඈත මැදපෙරදිගේ නගරෙක
තනි උනා මම..
ස්වර ඛණ්ඩ කීපයක්,
වියළි සුළඟක් එක්ක
තැන තැන - ඔබවත් එතැයි බල බල...

-මුදිත්-
14.07.2023

Image source: internet



Saturday, July 8, 2023

ඒ ඇරුණම වෙන අපහසුවක් නෑ මෙතන...

මං ඇඳි පුටුවෙන් වාඩි උනා. 
නෑ වැරදියි.. මං ඇඳි පුටුව කියලා හිතන් ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා...
නැහ්..
මං ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා.

හැන්දක බොකුටු මූණත උඩ ඉර ඇකිලිලා ගිහිං, එතනින් විසිවුණු එළිය සීරාවක් ඇහේ ඇනෙන එක ඇරුණාම වෙන අපහසුවක් නෑ මෙතන.

"චරස්" බෝතලේ සීල් මූඩිය කැඩුනා. 
වීදුරුවෙ බිත්තිය දිගේ හුජ්ජ පාටට වැක්කෙරුණා. 
"බ්ලොප්.." අයිස් කැටයක් වැටුණා. 
ඔන්න නිහැඬියාවක්.
"ඕක ගනින් බං..!" වීදුරුව මගේ අතට ආවා. 
"චියර්ස්...!"

"අර ඉර එළිය..." නෑ එක්කො ඕන නෑ. කියන්න ගියපු එක අරක්කු උගුර එක්කම ගිලුණා.
"හුහ්" උගුරට අරක්කු සැර දැනුනා.

....

"දැං එතකොට කොයි කාලෙක වගේද උඹ පිළිවෙලක් වෙන එක ගැන හිතන්න හිතන් ඉන්නෙ?"
කොහේ හරි ලඟම තැනක කපුටෙක් කෑ ගෑවා. මේක කපුටො අඬන වෙලාවක් ද?

පිළිවෙලක්.. පිළිවෙලක්...

මාලු කපන වීඩියෝවක් මගේ ඔළුව ඇතුළේ දිගෑරෙන්න ගත්තා.
ලේ.. වතුර.. සේදුවා..
කුණු-රතු පාට වතුර... 
බොකු-බඩවැල්..
කපුටෙක්.. 
රවුම් රවුම් පෙති.. පෙති බාග.. 
කොටු කොටු...
ඉවරයි..

පිළිවෙලක්.. පිළිවෙලක්...

ඊළඟට ඔලුවට ආවෙ කෝකියෙක්. වීඩියෝ වල ඉන්න, අත වකුටු කරලා ලුණු ගම්මිරිස් ඉහින කෝකියා.  
තැටියක දෙපැත්ත දැම්මා. රත් උනු තෙල් පටලයක් සර සර ගෑවා. සුදු දීසියක, සැරසිලි මැද, බාගෙට පැලහුණු මාළු පෙත්තක්.. අත් ඇඟිලි පොකුර උල් උනු කට ලඟට ආවා. ඇඟිලි තුඩු පොකුරට දෙන හාද්දක ඉංගිතයක්.. රසයි...

පිළිවෙලක්.. පිළිවෙලක්...

හැඳි ගෑරුප්පු පිහියා.. දිස්නයි.
"කාට කන්නද?" මං ඇහුවා.

ෆෝන් එක වැදුනා, චාජරේ ළඟට අඩි එකාමාරක දුර. 
"හරි නේද එහෙනම්..?" ඇහුණා. 
"හරි හරි" කිව්වා.

ෆෑන් එක හෙමින් කැරකෙන නිසා රස්නෙයි. ඊටත් මෙතන දැන් තුන්දෙනෙක්. ඒ මදිවට අරක්කු සිගරැට්..

"කෝ බං උඹේ ඈෂ් ට්‍රේ එක..?"
"එහෙම එකක් නෑ.."
"මොකක්..? මොන ... ගනිං ඔන්නොය කොළ කෑල්ලක් වත්.."
"ඕන්නෑ.. ඔය හිස් පෙට්ටියට දාපං"
"තමුසෙ හරි යකෙක් නෙ.."

ආයෙම ෆෝන් එක ටිං ගෑවා.

_Need your approval here for further proceedings. Please fulfil the requirement as it is necessary._

කාගේ හරි හිතේ තිබුණු හැඩේ එන විදියට, සුද්ද පවිත්‍ර කරලා, කපලා කොටලා, පිහලා මේසෙට ඇරපු දීසියක තියෙන පිළිවෙල ඒකෙ තිබුණා.

_Approved_

"මේක හරියන්නෑ බං. උඹ එන්න එන්නම කටුවට වදින ඉබ්බ වගේ වෙනවා. උඹට ඔය තරමට මිස් වෙන්නේ මොකක්ද..?"

"මාව.."

තව ටික වෙලාවක් ගියා. ස්වර ඛණ්ඩ කීපෙකුත්, සිගරට් දුම් රැල්ලකුත් ඉතුරු වෙද්දි කාමරේ හිස් උනා. වැහිලා තිබුණු දොර දිහාට මගේ ඇස් ගියා. මේ ටික අහක් වෙලා යන්න දොර ඇරලා දැම්මා නම්.. 

එක්කෝ ඕන්නෑ...

එකම ඉරියව්වට පය හිරි වැටුණු කොස්ස ඉබේම බිම වැටුනා.
ෆෝන් එක වැදුනා.
ෆෑන් එක පරණ වේගෙටම සැහැල්ලුවෙන් කැරකුනා.
බිම වැටුණු කඩල ඇටේක හෙවණැල්ල, පහළ මිදුලෙ තිබුණු කතුරු මුරුංග ගහේ හෙවනැල්ල තරමටම දික් වුණා.
පහළ තට්ටුවේ ගෙදර දොර ඇරුනා. වැහුනා...

මං ඇඳි පුටුවෙන් වාඩි උනා. 
නෑ වැරදියි.. මං ඇඳි පුටුව කියලා හිතන් ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා...
නැහ්..
මං ප්ලාස්ටික් පුටුවෙන් වාඩි උනා. 

හැන්දක බොකුටු මූණත උඩ ඉර ඇකිලිලා ගිහිං, එතනින් විසිවුණු එළිය සීරාවක් ඇහේ ඇනෙන එක ඇරුණාම වෙන අපහසුවක් නෑ මෙතන.

-මුදිත්-
08.07.2023

Image: Alone In The Room painting by Wissam Beydoun
Image source: Internet