එක එක හැඩෙන් කියවන්න

Sunday, April 19, 2020

කෙහෙරැල්ල

          ඒ නම් මහා පුදුමාකාර කෙහෙරැල්ලකි. දහවලත් සැන්දෑවත් අතර මැද හෝරා දෙක තුන තෙත් කර හැලුණු වැහි රැල්ලෙන් මග හැරී ගිය හිතුවක්කාර පොද අහුරු මගින් තෙත් නොවුණු කෙහෙවල්ලක, පරෙස්සම් සහගත කෙහෙරැල්ලකි. මා, ගාල්ල බලා යන බස් රියක් තුළට හනි හනික ගාල් වූවද අර කී පොද අහුරු වලට මා මගහැරී නොතිබිණි. මම අසුනකට බරවීමි. කඳේ බර තට්ටමට මාරු වී අසුනේ කුෂන් තෙරපයි. දෑස් ද පියා ගත් කල සිතේ බර ද උකුලටත්, තට්ටමටත් මාරු වනු ඇත. අහා.... කෙතරම් නම් සැහැල්ලුවක්ද.. මම දෑස් පියා ගනිමි. නින්දක් හතර මායිමක නොවුණද, ඇස් පියන් තදවූ පසුව තැනෙනුයේ මනෝ සක්මනකට කදිමතම උයනකි. අඩක් හැර ඇති, රිය කවුළුවෙන් හමනා සුළඟ ද තෙතය. සීතය.. මම ප්රේමයේ කිරිකෝඩු මාස කිහිපය තුළ මනසින් ඉපිලෙමින් සක්මන් කරමි.

          මේ කියන කෙහෙරැල්ල මගේ මුහුණට පැන, අනින්නේ මෙන්න මෙවිටය. බිඳී, විසිරී යන්නේ මා අපූරුම සිහින සක්මන ය. මේ කවර නම් වධයක්ද.. මම දෑස් හැර විමසමි.

          විසල් ව ඇරී ඇති කවුළුවෙන්, තවමත් තෙත නොවියලුණු සුළඟ අවසරයකින් තොරව ම, රිසිසේ හෝස් ගා පිනුම් පනිමින් එයි. මගේ අසුනෙහි කවුළුව පැත්තේ වාඩිගෙන සිටින්නේ කෙල්ලකි. කවුළුව හරින්නට ඇත්තේද ඈ ම විය යුතුය. කවුළුවෙන් පනිනා සුළඟ, පළමු පය ඇගේ කෙහෙවල්ලටත් දෙවන පය මගේ මුහුණටත් තබමින් බසය තුලට පනින්නේය. නිකම් පිනුමක් නම් ඉවසා සිටිය හැක. එහෙත් මේ පනින්නේ, ඇගේ කෙහෙවල්ලේ වූලෙන් මිදුණු කෙහෙරැල්ලක්ද සමගිනි. කරදරය ඇත්තේ එතැනය. ඈට නම් ගණනක්ම නැත. කවුළු වීදුරුව මුළුමණින්ම විවර කරලන්නට ඇති ඇගේ අත, දැන් කවුළුවේ ලෝහ පට්ටමට තට්ටුවක් දමමින් තාලයක් අල්ලයි.
          'මේකි මාර එකියක් නෙ..'
ඈට ම අලගු තියනා සුළඟ, තව තවත් කෙස් ගස් වූලෙන් මුදාලයි. නිදහසේ විසිරෙන කෙහෙරැළි, නිදහසේ උපරිමය මේ යැයි කියමින් මගේ මුහුණේ හරි අඩක් ම අල්ලාගෙන නිදහසේ කැරළි ගසයි. මට යමක් ඇණයක් වන්නේ ඉවසීමේ හරිත සීමාවත් රක්ත සීමාවත් අතර මැද්දෑවේදී ය. මේ නම් දැන් මහ ම ඇණයක් ය. ඈට කිව යුතුමය.

          "මේ.. ඔයාගෙ කොණ්ඩෙ සේරම මගෙ මූණෙනේ. බැරිද කොණ්ඩෙ පොඩ්ඩක් හරිගස්සගන්න.."

          මා එසේ කීවේ නැත. ඈ වෙනම ලෝකයකය. කුමක් හෝ කල යුතුය. මම කල්පනාවට වැටෙමින් දෑස් වසාගතිමි. ටිකක් සැරට උගුර පෑදිය හැකිය. නැතිනම් කෙලින්ම ඇඟිල්ලෙන් ඇන ඈට කතාකල හැකිය. මොනම මඟුලක් කර හෝ පළමුව ඇගේ මුහුණ මා වෙත හරවා ගත යුතුය. ඉන්පසු කීමට ඇති සබ්බ සකලමනාවම එක රළු බැල්මකින්ම කියා දැමිය හැකිය. මම යළි යළිත් එය මෙනෙහි කළෙමි. ඉන්තේරුවෙන්ම එය සාර්ථක වනු ඇත. ඇදගත් හුස්මක්ද රළු පරළු බැල්මක්ද සමගින් මම දෑස් හැරියෙමි.

          මේ කවර නම් කෙල්ලක්ද... දුටු දෙයින් මා තිගැස්සී ගියෙමි. ඉදිරි අසුනේ කවුළුව පැත්තේ මැදිවියේ පමණ කතකි. එතැන කවුළුවද විවර ය. එම අසුනේ පිට වාරුවට ඉහළින් අර කී කතගේ කෙහෙ කැරැල්ලක් මේ පැත්තට වැටී ඇත. හමන සුළඟේ පොරයට හසුව එයද සසැලෙයි. ඇඹරෙයි.. මඳක් තඹ ගැසී ඇති එ'කෙහෙරැල්ල වටා දඟකාර ලෙස මේ කෙල්ල ඇගේ අතැඟිලි නටවයි. කෙහෙරැල්ල සුරතේ දබරැඟිල්ල වටා පටලාගනියි. ඒ හමන සුළඟින්ම ඇගේ නොසණ්ඩාල කෙහෙරැල්ල මගේ මුහුණට අනියි. දෙකක් කියන්නට සිතාගත් සිතද සුළඟට ගසාගෙන ගියාක්ම වැන්න. මට ඇතිවූයේ ඇගේ හිස බූ ගා දමන්නට තරමේ කෝපයකි.

          "මේ..." මම ඈ ඇමතීමි. එක්කෝ ඈට නෑසුණා විය යුතුය. නැතිනම් ඈ මහ කපටි හෙරක් විය යුතුය. මා සිතින් පුපුරා හැලෙද්දී ඈ කොහේදෝ තිබී ඇදගත් කන් බණුවක් දෙකන් තුල ඔබා ගත්තාය. කෙස්ස දැන් නම් තවත් නිදහසේ හැසිරෙනු ඇත. මා තව සැලකිය යුතු දුරක් මෙසේ යා යුතුව ඇත. මේ වධය ඉවසා සිටිය හැකිද.. මුලදී කෙසේ වූවත් දැන් නම් මෙය කෙසේවත් ඉවසා සිටිය නොහැකි වධයකි. ඇගේ කෙළිලොල්කමින් ම මගේ මුව ගොළුගැසී ඇත්තාක් මෙන් මට හැඟේ. ඇත්තෙන්ම එය එසේ නොවන්නේද...? මගේ සිත ඉවසුමේ රතු කට්ට වෙත වේගයෙන් ඇදී යමින් පවතී. දැන් කෝපය ඇවිලෙන්නේ මගේ පීචං පෞර්ෂය ගැනත් එක්කය. "කෝ උඹේ අර මහ ලොකු කට..?" නක්කල් සිනවක්ද සමගින් මම මගෙන් ම ඇසුවෙමි. කොලොප්පම දෙ තුන් ගුණයක් කරන්නට ඇගේ කෙහෙවල්ලෙන් පැන තවත් කෙහෙරැල්ලක් දෙකක් ද මට ඇනීම සඳහා අලුතෙන් පැමිණ සිටී. මෙය නම් ඈ සිතා මතා සිදුවෙන්නට හරිනවා විය යුතුය. ඇරත්, කොණ්ඩයක් මෙලෙස ඇණයක් වන්නට සිහි ඇත්තියක් ඉඩහරිනු ඇත්ද...? මේ නම් ඔලුව හොඳ නැති එකියක්ම විය යුතුය. අර කෙහෙරැල්ලක් අල්ලාගෙන මෑ කල නාඩගම ඊට "එහෙයි එහෙයි" කියයි. මේකි දැන් දෙ තුන් පොළකින් මට සිනාසෙනු ඇත. අර හෙඩ්ෆෝන ඇබ මට පෙනෙන්ටම කනේ ඔබාගත්තේ මා තව තවත් හිර කරනු පිණිසය. මම ද දෑස් තද කරගෙන ම සිතන්නට වීමි. මගේ දෑත් නලියන සේය. මා ආවේගය පාලනය කරන්නේ ඇයි..? "හිටපං දෙන්න..." මටම කියාගනිමින් එක්වරම මම ඇගේ කෙස්ස තදින් ඇදී යන සේ මගේ මුහුණෙහි වූ ඇගේ කෙස්ස පිසදාහැරියෙමි. එකෙනෙහි ම... මා අතේ පැටැලුණු කෙස් රොදක් තදින් ඇදෙනවාත් සමගම ඇගේ කෙහෙවල්ල ඉදිරී, අසුනේ ඇයත් මමත් අතර කොටසට වැටුණි. මගේ උගුර සිරවුණි. මා දුටුවේ කෙස් ගස්කුදු නොමැති ගෝලාකාරව දිලිසෙන ඇගේ හිසත්, බියපත්ව, කඳුලෙන් පෙඟී විසල්ව ගිය ඇගේ දෑසත් පමණි. මට මේ දැනුදු ඇසෙන්නේ සවන් තුල නිනඳ දෙන ඇගේ බියපත් හඬ ම පමණි.

          "කවමදාවත් මට දිග කොණ්ඩයක් තිබුණෙ නෑ අයියේ.. ඉස්කෝලෙ අට වසරෙන් පස්සෙ මට මගේම කියල එකම එක කෙස් ගහක් වත් ඉතුරු වුණේ නෑ.. ඔයාට කරදරයක් වුණු බව තේරුණා. සොරි... මට ලොකූ ආසාවක් තිබුන, ඔයාගෙ කොණ්ඩෙ මගෙ මූණෙ වදිනව කියල කාගෙන්ම හරි අහගන්න. හැම තිස්සෙම මගේ හිතේ තිබුණෙ එච්චරයි..."

     **********
                              -මුදිත්-
2016.01.14

Saturday, April 18, 2020

දෛව

"ඔයා දෛවය විශ්වාස කරනවද?"
"උඹ දෙවියො විශ්වාස කරනවද?"

  බොහෝ පිළිතුරු කෙළවර වූයේ හිස්තැනකිනි. හිස්තැනෙහි කෙළවර සීමා වූයේ ප්‍රශ්නාර්ථමය බැලුම් වලිනි. එසේම, ඒ සියලු හිස්තැන් ද, ප්‍රශ්නාර්ථද මඳක් හෝ දෙවියන්ට බරව ම පැවතුනි. ඉදින්, මේ සටහන කියවන්නෝද පිළිතුරු දුන් නොදුන් නුඹලාම හෙයින් සටහන මෙසේ අරඹමි.

  දෛවය අපව කොනහන්නට තෝරා ගත්තේ වෙනම ම ආකාරයකි. ඈ නමින් උත්තරා විය. (ඈ උත්තරා වූ හැම විටම මම නිරුත්තර වූයෙමි. ඔව්,)මම නමින් නිරුත්තර වූයෙමි. තරුවකින්, ඈත ග්‍රහලොවකින් ඉහිරෙන එළිය පොද වුව ඉරණම් තීරණය කරන්නට වරම් ලද කොදෙව්වක, ආශ්වාස ප්‍රාශ්වාස වා රැල්ලක් හෝ බෙදා ගත නොහෙනැයි සිතිය හැකි තරම් දුර වූ දෙතැනක ඉපිද, ඈ නමින් උත්තරා විය, මා නමින් නිරුත්තර විය.

  එදා වැස්සේ පුදුම වරුසාවෙකි. සෘතුවක විළි බර, තඩි වෙරළු ගෙඩි තරම් වැහි වතුර ගුලි ලෙස, අතොරක් නැතිව ඇද වැටුනේය. උඩු වියන කිටි කිටියේ තොල් විකා ගෙන පළමු අඩ හෝරාව අල්ලාගෙනම උන්නේය. එහෙත් ඒ වැහි වතුර; දහසකුත් පපු කුහර තුල දැවී ගිය සිතුවිලි වලින් නික්මුණු සුසුම් දියවී ගොස් විස ව ගිය වැහි වතුර, සාන්ද්‍ර අම්ලයකට වඩා උකු විය, රුදුරු විය. හෝරාවක් නිමා වෙද්දී නිවර්තන පත්‍ර අඹරාව, කෙසඟ, පත්-නහරමය දැලක් පමණක්ම විය. ඉන් පසුව වැහි වතුර හෝස් ගා ගෙන පොළෝ තල මත්තෙහි හපා කන්නට විය. එකා මත එකා ඇද හැලුනු ඒ විසල් වැහි බිඳු එකිනෙකා පරයා, පොලෝ මත්තෙහි ඇදී ගිය දිගු ගමන් සියල්ල ම කෙළවර වූයේ එකම එක් මහ විසල් සමුදුරකිනි. එකී සමුදුර කරා වැහි දිය රැගෙන ආ විසල් දිය සීරාවෝ කා අතින් හෝ ගංගා නමින් නම් ලබා තුබුණෝය. වැහි දියෙහි දියව ගිය සුවහසක් සිහින බිජු කඩිමුඩියේ ප්‍රරෝහණය වන්නට පටන් ගෙන තිබුණේ වැහි දිය, ගංගා වන්නටත් පෙරාතුවදී මය. දිය කඩිති හා ගංගා තුළ රහසේම තැනුනු ගර්භාශ තුළ මේ ප්‍රරෝහණ කර්තව්‍යය ලොවට රහසේ සිදුවෙමින් පැවතින. කරුණු කාරණා එතරම්ම රහසේ සිදු වුවද කොහේ හෝ තැනෙකින් කාන්දු වූ "ඔත්තුවක්", දිය සීරා ඔස්සේම පාව ගොස් "හරි තැනට" ලඟා වී තිබුණෙන්, සිහින පසු හඹමින් දිය සීරා ඔස්සේ ඇදෙනා කඩදාසි ඔරු තිහ හතලිහක් ඒ වන විටත් දක්නට ලැබුණි. ඔරු කඳන් මත තද කලු අකුරින් මුද්‍රිත පුවත් කතුවැකි, තීරු ලිපි මෙන්ම අතරින් පතර වූ සෙනෙහෙ කොළ මත වූ පෙම් වදන් ද කියවමින් ඇතැම්හු මේ දසුන විඳිමින් හුන්නෝය. කෙසේ හෝ කරුණු කාරණා මෙසේ පෙළ ගැසෙමින් ඒ ඓතිහාසික "සිහින දඩයම" එසේ ඇරඹී තිබිණි.

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

   මම පුරා පෑ දොළහක තරම් වූ දිගු රාත්‍රී නින්ද බිඳ ඇහැරුනෙමි. වෙලාව උදෑසන දහයයි කාලට මදක් වැඩියෙනි. කවුළුවට එපිටින් තොරතෝංචියක් නැති වරුසාවය. මම පසුගිය රැයේ වර්ෂාව ඇරඹුණු මොහොතක් සොයා මතකය  වෙහෙසුවෙමි. නැත, ඒ වගක් ලියැවුණු මතකයක සේයාවකුදු නැත. "එහෙනං රෑ මැද්දෑවෙ වෙන්නැති" මම මට ම කියා ගතිමි. මේ වහින්නේ හය මසක් පුරා මගහැරී තිබූ වර්ෂාවයි. තෙමෙන්නට බලා හුන් සිහිනමය වර්ෂාවයි. ඇරැඹෙන මොහොත තෙක් ඇඟිලි ගනිමින් බලා හුන් වර්ෂාවයි. ඇත්තෙන්ම, වරුසාවකට එතරම් ම රුදුරුව පිටුපා හිඳින්නට පුළුවනිද. මම වහා එළියට පැන්නෙමි. අහා.. වැහි බිඳු ගත තෙමා හරිනා පහස.. මම වර්ෂාවට ඉඩහැර දෑස පියාගත්තෙමි.

   මා දෑස හැරියේ සියුම් යමක් පයෙහි ගැටීමෙනි. "කඩදාසි ඔරුවක්..!!!" එය ඉතා සියුම් රේඛා ඔස්සේ නමා සකසා තිබූ හුරුබුහුටි කඩදාසි ඔරුවකි. එය මා පයේ හැපෙමින්, දිය පහර මත ලෙලැවෙමින් උන්නේ ලලනා ලාලිත්‍යකිනි. එතැන් හිඳ මගේ විඥානය තුළ එය, "ඈ" ලෙස ලැගුම් ගත්තේය. එය තර්කමය ප්‍රශ්නාර්ථයන් නැතිවම කාන්තා ඔරුවක් වූයේ එලෙසය. අන් සියලු කරදහි ඔරු පරිද්දෙන් ම ඈ ද මේ සිහිනමය වැස්සේ කලඑළි බැස තිබුණාය. පොතේ හැටියට නම්, ඒ සිහින දඩයමට ය. එහෙත් ඈ මැවූ ලාලිත්‍යයත්, ඈ මැවූ චමත්කාරයත් ඒ ක්ෂණික විචිකිච්ඡාව මා කෙරෙන් පළවා හැරියා ය. මම පහත් වී, ඈ මා සුරත මතට ගත්තෙමි. එකෙනෙහි ඈ තුනී බඳ මත වූ මුද්‍රිත, කුඩා, තද කලු අකුරු අතරින් කෝළ "පදුකෝනියානු" මදහසක් පැළැඳ ගත්තී, වර්ෂාවෙන් තෙමී ගිය ගහකොළ අතරින් නැගී ආ සිහිනමය සුසුවඳ දෙතුන් ගුණිතව මා වෙලා නැගෙන්නට විය. කෙමෙන් ඈ මදහස අඩක් පියැවෙමින් ගිය මා දෙනෙත් අතරින් රිංගා ළමැද්දට ගලා යන්නට විය. ඊළඟ තත්පරය මා උන්නේ කඩදාසි ඔරුව තුළ එරමිණියා ගොතාගෙන ය. කුඩා ඔරු පතුල පුරා පසුගිය ශරත් සෘතුව පුරා ගසින් ගස- අතින් අත ගිලිහුණු පඬු පෑ පත්‍ර විසිරී තිබුණේය. ඒ සෑම පත්‍රයකම පාහේ සියුම් නිය තුඩකින් කැටයම් කළ කවියක් බැගින් වූ කවි දුසිම් දෙක තුනක් ඔරු පත්ලේ වැතිර උන්නෝය. මම පත්‍රයක් අතට ගතිමි. කිසියම් නොතේරුණු බසකින් ලියා තිබුණද ඒ කවියක් ම බව මා හදවතේ ගැඹුරුම තැනෙකින් ආ දෝංකාරයකින් සටහන් විය. මම පත්‍රය තිබූ තැනින් යළි තබන්නට සැරසුනෙමි. පත්‍ර පලසට යටින් එතැන වැතිරී උන්නේ පසුගිය වසන්‍තයට උරුමකම් කියන්නා වූ අවපැහැව ගිය මලක් හා ඒ වටා වැතිරී උන් මල් පෙති හත අටකි. මම පත්‍ර පලස අතින් එහෙ මෙහෙ කළෙමි. "මල්..!" ඒ යට වැතිර උන්නේ පෙර වැනිම මල් සමූහයකි. මම ඒ සියලු දෙය උන් තැන්වලම තබා වට පිට බැලුවෙමි. ඇද හැලුණු වර්ෂාව තුනී වී ගියද ඒ පරිච්ඡේදය නිමා නොකරනු වස් සිහින් වැහි පොද සේලයක් තවදුරටත් ඇදහැලෙමින් පැවතින.

   කුඩා කඩදහි ඔරුව, ගල් බොරළු කැට අතරින් සීරුවට වංගු ගනිමින් ඉදිරියට ඇදී ගියේය. අතරින් පතර කුඩා ගප්පි පැටවුන් සේලමය වරල් සලමින් නැංවූ රළ ගෙඩි විසින් කුඩා ඔරුව ඔසවා අතහැරියේය. එහෙත් පුංචි තණකොළ මල් රෙහෙණු ඉහිරුනු කුඩා දිය සීරා මත විචිත්‍රය මවමින් ඔරු පොඩිත්ත ලාලිත්‍යමය ගමනෙහි ම යෙදුනේය. කාලය පුරුදු රිද්මයට ම ගලා යන්නේ එක් මොහොතක ඔරුව තණ පිඩැලි ඇල්ලූ බිම් කට්ටියකින් සීමා වූ කුඩා දොළ පහරකට හැරී ගමන් කරන්නට විය. දොළ පහර දෙපැත්තේ, විසල් වැහි වතුර බිඳු දෙවුරෙහි හොවාගත් තුරුණු තණ පඳුරු මා දෙසට හිස් නමාගත් ඉරියව්වෙන් ම උන්නෝය. ක්‍රමයෙන් වැහි අඳුර, සැඳෑ බිම් කරුවල බවට වෙස් මාරු කරගනිමින් මුළු ලොවම තිත්ත කරුවල ලාටුවක ගිල්වා දැම්මේය. එනමුදු ඔරුව තවදුරටත් නිසල ගමනෙහි ම යෙදී උන්නාය. කලුව අතරින් කිසියම් ම හෝ ඡායාවක් දෘශ්‍යමාන වන මොහොත වන විට අලුයම හතර ආසන්න වන්නට ඇත. කෙමෙන් ඒ නව උදෑසන දිගහැරෙමින් තිබුණේ ඇසට ආගන්තුක වටපිටාවක හැඩතල මතුකරමින්‍ ය. පළමු හිරු දළුව ම කුඩා ඔරු බඳ මත පතිත වූයේ පෙරදින ඔරු පතුල මත නුවූ මකරන්ද පිරි මල් කෙමි දුසිමක් පමණ පෙන්වමිනි. එලෙස මා ලද එකම, ඉමිහිරිත ම ආහාරය මට හමුවීය. මද්දහන පසුවන තුරුම ඔරුව ගමනෙහි යෙදී, කෙමෙන් වේගය අඩුව ගොස් නෙළුම් පත්‍රයක මායිමේ තැවරී නතරවිණ. ඉන් පසු එළැඹි ඒ මොහොත සිත්තමක් මෙන් මා මතකයෙහි කිඳා බැසගත්තේය. නෙළුමක් මැදින් මතුවී නෙළුම් පෙත්තක් දිගේ ලතාවට ඇවිද ආවේ අපූරු යෞවනියකි. සුකුමාලියකි. මුදා හැරි මුහුලස ලතාවට ලෙලැවෙද්දී ඈ මවෙතට ඇවිද ආවාය. පෙර හමුනොවූ ආගන්තුක මුහුණක් වුවද අතිශය හුරු පුරුදු හැ‍ඟුමක රශ්මියක් ඈ වටා නැගෙන්නාක් මෙන් මට දැනින. ඈ මා වෙත පැමිණ මදහසක් පෑවාය. "පදුකෝනියානු මදහස..!!!" මේ අර ඔරු පොඩිත්‍ත මා වෙත පෑ සිනහව ම නොවේද..? මා ඒ සිතුවිල්ලෙහි ම ගිලී හිඳිද්දී නිද්‍රා සුරතකින් මා අතක් ගෙන, කොහි හෝ ඈ මා කැන්දාගෙන ගියාය. එය එක් නෙළුම් පතකින් වියන් බැඳි තවත් නෙළුම් පත් වේදිකාවක් විය. ඒ මත තැබූ කුඩා තිරිවානා ගල් කැටයක් මත ඈ මා හිඳුවා, මට කෙලින් ම මුහුණ ලා තැබූ තවත් එවැනිම ගල් කැටයක් මත ඇයද හිඳගත්තාය.

"ඔයා..? ඔයා කවුද?' ඈ සංවාදය ඇරැඹුවාය.

ඇත්තටම මම කවුද? මම සිතුවෙමි. කඩදාසි ඔරුවක නැගලා මේ තරම් දුරක් පාවෙලා ආපු මිනිහෙක්?
"මම" අවසානයේ මම එලෙස පිළිතුරු බැන්දෙමි.

ඇය: ඊට වඩා පැහැදිලි හඳුන්වා දීමක් නැද්ද?"

මම: තමන් තමන් ම බව කියන්න ඊටත් වඩා පැහැදිලි විදියක් තියෙන්න පුලුවන්ද?

ඇය: සමාවෙන්න "මම" ඒත් මෙතන ප්‍රශ්න අහන්න නියමිත මට.

මම: කඩදාසි ඔරුවක නැගලා නොදන්න පළාතකට ආපු මිනිහෙකුටත් අහන්න දාහක් ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ඇය: හ්ම්.. ඒත් ඒකෙම අනිත් පැත්ත, කඩදාසි ඔරුවක නැගලා නොදන්න පළාතකට පාවෙලා ආපු
මිනිහෙක්ගෙන් අහන්නත් දාහක් දේවල් තියෙන්න පුළුවන්.

මම: හොඳයි, අහන්න..

ඇය: ඒ කඩදාසි ඔරු බඳේ තිබුණු ටික කියෙව්වද?

මම: නැහැ. බැරිවුණා.

ඇය: ආහ්.. එහෙමද?

මම නිහඬව හිඳිමි.

ඇය: ඔබ තමයි "සිහින රැස්කරන්නා". එහෙම නේද?

මම තවදුරටත් නිහඬවම හිඳිමි.

ඇය: මොකද කථා නැත්තෙ, ම්ම්..? (පදුකෝන්මය සිනහව කාජල්මය දෑසක්ව දොඩමළු වෙයි.)

මම: හොඳයි, එහෙම කියමු. ඊළඟට..?

ඇය: ඔයා සෙල්ලමට එන විදියට මං ආසයි වගේ. ම්ම්.. කෙලින් කථා කරමු, ඇයි සිහින රැස් කරන්නෙ?

මම: හීන කියන්නෙ නන්නත්තාරෙ යන්න ඕන දේවල් නෙමෙයි.

ඇය: ඒ වුණත් හීන නිසා මිනිස්සු නන්නත්තාරෙ යනවා.

මම: නැහැ, ඒක වැරදියි. ඒක ඔයාම හදලා එළියට දාපු අදහසක්. හීන නිසා මිනිස්සු ජීවත් වෙනවා.

ඇය: නැහැ, හීන නිසා මිනිස්සු අමාරුවෙ වැටෙනවා. බලන්න ඔබ දිහා.

මම: නැහැ, ඒක වෙනස්. හීනයක් වෙන්න පුළුවන්. ඒත් මම ආවෙ ඒ කඩදාසි ඔරුව නිසා මට දැනුනු හැඟීම නිසා. මම ඒ හැඟීමට බැඳුණා.

ඇය: ඔරුවකට..?

මම: ඒක නිකම්ම ඔරුවක් නෙමෙයි. ඔයා ඒක දන්නවා ඔයා ඒකට කාවද්දලා තිබුනෙ ඔයාව. මං ඒ ඔරුවෙන් දැක්කෙ ඔයාව. මම බැඳිලා තියෙන්නෙ ඔයාට.

ඇය නිහඬ මලානික බැල්මකින් බලා උන්නාය.
මේක වෙන්න තිබුණෙ ම මෙහෙම වෙන්න ඇති.

මම: එහෙමත් දේවල් වෙනවද?

ඇය: මේ වෙලා තියෙන්නෙ.

මම: මම සැරයක් කිව්වෙ, මට දැනුනු හැඟීම නිසා. ඒක ආදරේ වෙන්න ඇති. මං හිතනවා එහෙම. ඒත් ඔයා ඒක පාවිච්චි කලා මාව මෙතෙන්ට ගෙන්න ගන්න. මාත්, මේ හැම තැනකම ඉහිරිලා පැතිරිලා දළු දාන්න නියමිත හීන සේරමත් විනාශ කරලා දාන්න. එහෙම නේද?

ඇය: (මලානිකව) ඔබට ප්‍රශ්න අහන්න බැහැ.

මම: ඔයාට මම කිව්ව දේ ප්‍රතික්ෂේප කරන්නත් බැහැ.

ඇය: ඔයා ඇත්තටම ඒ කඩදහිය කියෙව්වෙ නැද්ද?

මම: (සිනාසෙමින්) නැහැ. ඇයි ඔයාගෙ සැලසුමට අව්ලක්ද..

ඇය: ඇත්තටම ඔයා මේ දකින දේ මගේ සැලසුමක් නෙමෙයි. මාත් මේකෙ එක පුංචි කෑල්ලක් විතරයි. ඇත්තටම මගේ සැලසුමේ තිබුන එකම දේ, ඔයා ඒ කඩදහිය කියවාවි කියන බලාපොරොත්තුව විතරයි.

මම: මොකද්ද ඔයාගෙ ඒ මහ ලොකු සැලසුමේ තිබ්බෙ?

ඇය: තාමත් ඔයාට ප්‍රශ්න අහන්න බෑ. ඒත් දැන් මට කෝකත් එකයි.

මම: ඉතිං?

ඇය: මේ හැම දේකටම හොරෙන්, පිටින් මම ඒක ලිව්වෙ ඔයාට කියවගන්න. ඒකෙ ලියලා තිබ්බෙ "මේ බෝට්ටුවට නගින්න එපා!" කියලා. මුලු කොළයක් පිරෙන්නම මං ලිව්වෙ ඒක. ඔයා පිලිගන්නවද එහෙම දෙයක් ඇතුලෙත් තියෙන්නෙ ආදරේ කියන එක?

මම: ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ... ...

-නිමි-

-මුදිත්-
2019.11.12

Saturday, March 28, 2020

ජීවිතය මුදා හැර තිබේ...

     මේ ගෙවෙන රාත්‍රිය- අනෙක් සාමාන්‍ය රාත්‍රීන්ටත් වඩා අතිශයින් නිශ්ශබ්දයි. නිශ්චලයි. ශ්‍රී ලංකාව පුරාම, එක යායට සාමාන්‍ය ජන ජීවිතය මේ රැයේ නිශ්ශබ්දයි. නිශ්චලයි. අනෙක් අතට ලෝකය පුරාමත් මේ නිශ්චිත මොහොත ගෙවෙන්නේ අතිශය දෙගිඩියාවෙන්. ක්ෂුද්‍ර ප්‍රාණියෙක් විසින්; ඇත්තෙන්ම කිසිදු සෛලීය ව්‍යුහයක් හෝ නැති, කිසිදු ස්වාධීන ජීව ක්‍රියාවක් පෙන්වීමේ යාන්ත්‍රණයක් නැති ක්ෂුද්‍ර ප්‍රාණියෙක් විසින්, ලෝකය තමන්ගේ යැයි සලකමින් උන් මහා ජීවියාගේ පැවැත්මට මැද ඇඟිල්ල පෙන්වමින් ඉන්නා මොහොතක් මේක.

     එක්තරා එක දවසක, චීනයේ එක මුල්ලකදි ධාරක ජීවියෙක්ව ආක්‍රමණය කර ගන්නා මේ වෛරසයා, අද වෙද්දි ලෝකයේ සාමාන්‍ය හෘද ස්පන්දනය වෙනස් කරමින්, ලෝක බලවතා ලෙසට උදම් අනමින් උන් අමෙරිකාව පවා දණින් ඉන්දවමින්, පෘථිවි තලය පුරාත්, සාගරය හා ආකාසය පුරාත් වේගයෙන් කරක් ගසමින් පෘථිවියේ භාරකාරීත්වය පවරාගෙන උන් අපේ ජීවිත, සති-මාස කිහිපයක් තුළ lockdown කරන්න සමත් වෙලා අවසානයි. ඉතින් අකමැත්තෙන් හෝ මේ විරාමය ඇතුලෙ අපව ගාල් කරමින්, මේ වෛරසයා විසින් මේ කරමින් ඉන්නේ ජීවිත පැවැත්ම පිළිබඳව වන තිත්ත කසායක් අපට පෙවීමයි කියලා මට හිතෙනවා.

     මෙතෙක් කාලයක් අවසානය, නිමාව, මරණය කියන සත්‍යතාවන් පවා අමතක කරවන සුළු තරඟයක උන් මිනිස් වර්ගයා මේවෙද්දි නැවත වරක් මරණයේ ආමන්ත්‍රණය ඇතුලෙන් ජීවිතයට ඇහුම්කන් දෙන්න පෙළඹිලා. උදේ පාන්දර ඇහැරගෙන race එකක දුවන්න සුක්කානම අතට ගතපු, පාරෙ බස් එකට, කෝච්චියට, බයික් එකට නැගපු ජීවිත මේ වෙද්දි ටිකක් දවල් වෙනකම් නිදාගනිමින් ඉන්නවා. තමන්ගෙ දුව පුතා එක්ක නැවත වරක් හෝරා කිහිපයක් තදියමක් නැතිව ගතකරමින් ඉන්නවා. අතහැරගන්න බැරි පුරුදු කියලා මානසිකව හංවඩු ගහගතපු දේවල් එකින් එක අතහරිමින් ජීවිතය ගෙවන්න හුරුවෙමින් ඉන්නවා. සිගරැට් එක නැතිව වැසිකිළි යන්න බැරි වුණු අය, කිසීම කරදරයක් නැතිව ඒ වැඩේ කරමින් ඉන්නවා. හවසට හීන් අඩියක් නොගහා ගෙදර එන්න බැරි වුණු පිරිමි, ඒ කිසිවක් නැතිව දරු පැටව් එක්ක අල්ලාප සල්ලාපයේ හැන්දෑව ගෙවමින් ඉන්නවා. ගෙදර බතක් උයාගන්න එක වේදනාවක් කරගෙන කඩෙන් රෑ කෑම කන්න පෙරැත්ත කරපු ගැහැණු, දන්නා සූප ශාස්ත්‍ර සියල්ලම දමමින් තමන්ගෙ දරු පැටවුන්ට, ස්වාමිපුරුෂයාට රෑ කෑම හදන්න පෙළඹිලා තියෙනවා. සොසේජ්, මීට් බෝල්ස්, පෝකීස් නැතුව සොහොන් වගේ පාළුවට පෙණුනු කෑම පිඟාන, අද පලා මැල්ලුමෙන්, කරවල බැදුමෙන් සර්ව සම්පූර්ණ ව පේන්න පටන් අරන් තියෙනවා. EGB, Coke නැතුව කෑම එපා කියපු අය කිරි හොදියි බතුයි රහ කර කර කමින් ඉන්නවා. මස් මාළු නැතිව කන්න පිරිය නෑ කියපු අය, හරි අපූරුවට සම්බෝලයි බතුයි කමින් ඉන්නවා. සිංහල අවුරුදු දාට විතරක් එක මේසෙක කෑම කාපු, එදාට විතරක් බිරිඳට සැමියාට බත් කටක් කවාපු අයට අද අවුරුදු නැතිවම ඒ සතුට ආදරය බෙදාගන්න පුලුවන් බව වැටහිලා තියෙනවා. අවුරුදු ගණනක් විලාසිතාවට Book Fair ගිහින් ගෙනාපු පොත් එක දෙක රාක්ක වලින් එළියට ඇවිත්, පොතක් පතක් කියවන්න තවමත් අපිට පුලුවන් බව සාධනය කරමින් ඉන්නවා. වැට මායිමේ තියෙන කොස් ගහේ වඳුරන්ට රිලවුන්ට ඇරපු කොස්, අපිටත් කන්න පුලුවන් බව යළි වටහාගමින් ඉන්නවා. තරඟයට එකතු කරපු චිත්‍රපට, සංගීත ඇල්බම් හීන් සැරේ රසවිඳිමින් අතීතෙට පොඩ්ඩක් ගිහින් එන්න වෙලාව හදාගනිමින් ඉන්නවා. දාහක් බඩු මුට්ටු පිරිවරාගෙන ගෙවන මොකක් හරි එකකට ජීවිතය කියනවට වඩා, සරලව ගෙවෙන ජීවිතේක මොකක්දෝ අමුතු සැහැල්ලුවක් වගේ එකක් දැනෙමින් තියෙනවා. මෙච්චර දවසක් උන්නද මළාද වගක් නොතිබුණු දවසෙ පඩියෙන් ජීවිතේ ගොඩ දාගතපු අල්ලපු ගෙදර එකා කාලද දන්නෙ නෑ කියල සිතිවිලි වලට එන්න හිතේ ඉඩ හැදෙමින් තියෙනවා. හෙට දිහාට ඒ මනුස්සයගෙ පැත්ත පොඩ්ඩක් බලන්න ඕනෙ කියල හිතෙමින් තියෙනවා. කොටින්ම ජීවිතය කියන්නෙ තරඟයට දුවනවට වඩා තමන්ගෙ ආදරණීයයන්, අසල්වැසියන් එක්ක හිමින් තාලෙ ඇවිදගෙන යන්න ඕන ගමනක් නේද කියන එක, අපි මැරෙන මිනිස්සු නේද කියන එක අත්විඳිමින් ඉන්නවා.

     කෙටියෙන්ම කියනවා නම් මට දැනෙන හැටියට, තමන්ට කියා ජීවිතයක්, පැවැත්මක් නැති වෛරසයක් විසින්, සියල්ලම තමන්ගෙ කරගෙන උන්නු අපිට ජීවිතය කියාදෙමින් ඉන්නවා.

-මුදිත්-
27.03.2020



Tuesday, March 3, 2020

සිතුවම වසා නැගුනයි කලුවන් කන්ද

සැන්දෑ ඉරේ, දේදුන්නේ පාට රැසින්
හිරිමල් වියේ ඉස්මත්තේ සිනහ රැසින්
නැහැඹුල් ඇඟිලි අතරේ තෙලිතුඩෙහි අගින්
සිතුවම ඇඳුනි සෙනෙහස් කඩදහිය මතින්

යම්තම් සිනාසෙන ඉඳුවර පිපුණු විල
අහසෙහි, සයුරු දිය මත්තෙහි රැඳුණු නිල
සිහිලැල් හරිත රේඛා'තර පිපුණු මල
මල වට රැඟුම් දෙන මී මැසි - බඹර කැල

කාලය ගලා එන තාලය හා මුසුව
නැග ආ අඳුරු අව පැහැයක කසුකුසුව
ගස, මල් පෙත්ත, මල සහ පොඩි මල් නටුව
හෙමි හෙමිහිට මැකිණ, අඳුරින් වල් බිහිව

කාලය තැනූ කිසියම් රුදු විසක් ලෙසින්
මේ මහ කන්ද ඇඳුනිද මෙහි කවුරු අතින්
හැම අසිරිය ම සොරකම් කළ සොරකු ලෙසින්
දැන් මහ කන්ද වැජඹෙයි සිතුවමෙහි මැදින්

යම්තම් සිනාසුන ඉඳුවර පිපුණු විල
අහසෙහි, සයුරු දිය මත්තෙහි රැඳුණු නිල
සිහිලැල් හරිත රේඛා'තර තිබුණු මල
දැන් නැත එතැන ඝන කළුවර මිසක මළ

ගං දිය ගලා ගිය මග තව දැනෙයි තෙත
මොහොතක් හඟිමි ඒ තෙත, කෙළවරෙහි නෙත
දැන් වියපත් ය මේ සිතුවම් ඇන්ද අත
අර පොඩි බටිත්තන් දුර ඉගිලුනිද මිත?

ඉඳුවර සුවඳ පැටලෙන මොහොතක් ගානේ
මතකෙන් දකිමි පිපි ඉඳුවර එක රෑනේ
හිරිකඩ ඉහෙන විට කැටයම් වී මූණේ
තනිවම සිතමි මේ වෙන්නැති වස්සානේ

ඉඳහිට අතින් සිතුවම පිරිමදින විට
තවමත් දැනෙයි පෙර උණුහුම අඳුර යට
දැකගන්නට වරක් සිතුවම එකලු කොට
පිපියන් ඉරක් කඳු මුදුනට උඩින් හෙට

-මුදිත්-
05.10.2019

Painting: Light and Shadow by Franklin Carmichael

Tuesday, February 25, 2020

කොහොමද...?

සරා මල් පාර දිග
පෙරාගෙන ආ මතක රැස,
දරා රළු ළ'මැද්දක
සිනහසෙන ඇසක අග මදහස,
ඉතා දිගු හෝරාවල
ඉපදුණු පිපුණු හිතවත්කම,
ඉතින් මේ හැම දෙයම
එකම එක රැයක අග
වළ දමන්නේ කොහොමද...?

ජීවිත බැඳුම් නටුවෙන්
මිදී වියැලුණු තුරුපත
නිදැල්ලේ රැගෙන ගිය
නුඹ ම විනි නම් ශරත් සුළඟද
ඉතින් නුඹ ගිය පසුව,
අලුත් සළු පිළි පැලැඳ
හෙටත් සරසවි බිමට - වසන්තය වඩින බව
ඉඳුරාම කියන්නේ කොහොමද...?

මේ වලා වියන යට
මැයි මාර, රොබරෝසියා මල්
හෙටත් මේ හැඩයෙන් ම
පිපෙතැයි කියන්නේ කොහොමද...?
හන්තාන, මල් පාර
මහවැලිය ගං දෑල
හෙටත් අද වාගේම
හිඳිතැයි කියන්නේ කොහොමද...?

ඉතින් මේ හැම දෙයම
එකම එක රැයක අග
වළ දමන්නේ කොහොමද...?

-මුදිත්-
25.02.2020