එක එක හැඩෙන් කියවන්න

Tuesday, March 3, 2020

සිතුවම වසා නැගුනයි කලුවන් කන්ද

සැන්දෑ ඉරේ, දේදුන්නේ පාට රැසින්
හිරිමල් වියේ ඉස්මත්තේ සිනහ රැසින්
නැහැඹුල් ඇඟිලි අතරේ තෙලිතුඩෙහි අගින්
සිතුවම ඇඳුනි සෙනෙහස් කඩදහිය මතින්

යම්තම් සිනාසෙන ඉඳුවර පිපුණු විල
අහසෙහි, සයුරු දිය මත්තෙහි රැඳුණු නිල
සිහිලැල් හරිත රේඛා'තර පිපුණු මල
මල වට රැඟුම් දෙන මී මැසි - බඹර කැල

කාලය ගලා එන තාලය හා මුසුව
නැග ආ අඳුරු අව පැහැයක කසුකුසුව
ගස, මල් පෙත්ත, මල සහ පොඩි මල් නටුව
හෙමි හෙමිහිට මැකිණ, අඳුරින් වල් බිහිව

කාලය තැනූ කිසියම් රුදු විසක් ලෙසින්
මේ මහ කන්ද ඇඳුනිද මෙහි කවුරු අතින්
හැම අසිරිය ම සොරකම් කළ සොරකු ලෙසින්
දැන් මහ කන්ද වැජඹෙයි සිතුවමෙහි මැදින්

යම්තම් සිනාසුන ඉඳුවර පිපුණු විල
අහසෙහි, සයුරු දිය මත්තෙහි රැඳුණු නිල
සිහිලැල් හරිත රේඛා'තර තිබුණු මල
දැන් නැත එතැන ඝන කළුවර මිසක මළ

ගං දිය ගලා ගිය මග තව දැනෙයි තෙත
මොහොතක් හඟිමි ඒ තෙත, කෙළවරෙහි නෙත
දැන් වියපත් ය මේ සිතුවම් ඇන්ද අත
අර පොඩි බටිත්තන් දුර ඉගිලුනිද මිත?

ඉඳුවර සුවඳ පැටලෙන මොහොතක් ගානේ
මතකෙන් දකිමි පිපි ඉඳුවර එක රෑනේ
හිරිකඩ ඉහෙන විට කැටයම් වී මූණේ
තනිවම සිතමි මේ වෙන්නැති වස්සානේ

ඉඳහිට අතින් සිතුවම පිරිමදින විට
තවමත් දැනෙයි පෙර උණුහුම අඳුර යට
දැකගන්නට වරක් සිතුවම එකලු කොට
පිපියන් ඉරක් කඳු මුදුනට උඩින් හෙට

-මුදිත්-
05.10.2019

Painting: Light and Shadow by Franklin Carmichael

Tuesday, February 25, 2020

කොහොමද...?

සරා මල් පාර දිග
පෙරාගෙන ආ මතක රැස,
දරා රළු ළ'මැද්දක
සිනහසෙන ඇසක අග මදහස,
ඉතා දිගු හෝරාවල
ඉපදුණු පිපුණු හිතවත්කම,
ඉතින් මේ හැම දෙයම
එකම එක රැයක අග
වළ දමන්නේ කොහොමද...?

ජීවිත බැඳුම් නටුවෙන්
මිදී වියැලුණු තුරුපත
නිදැල්ලේ රැගෙන ගිය
නුඹ ම විනි නම් ශරත් සුළඟද
ඉතින් නුඹ ගිය පසුව,
අලුත් සළු පිළි පැලැඳ
හෙටත් සරසවි බිමට - වසන්තය වඩින බව
ඉඳුරාම කියන්නේ කොහොමද...?

මේ වලා වියන යට
මැයි මාර, රොබරෝසියා මල්
හෙටත් මේ හැඩයෙන් ම
පිපෙතැයි කියන්නේ කොහොමද...?
හන්තාන, මල් පාර
මහවැලිය ගං දෑල
හෙටත් අද වාගේම
හිඳිතැයි කියන්නේ කොහොමද...?

ඉතින් මේ හැම දෙයම
එකම එක රැයක අග
වළ දමන්නේ කොහොමද...?

-මුදිත්-
25.02.2020


Friday, January 3, 2020

ඕපපාතික කුරුල්ලා

සුපෝෂිත ජල තලය විදගෙන
මජර පල් ගඳ පොකුණු දිය පිට
එක් ඇඟිල්ලක් ඉහළ ඔසවා,
නැගුනි ඉඳුවර නටුව
පුරා කල්පයකට පසුව...

නොගැටෙන ලෙස කුණක් කිලුටක්
කෙළෙස් අතකින් ඉඳුලක්
පැතුමකි සිතෙහි පොපියන,
මත්ස්‍ය පිරිවර වෙනුවෙන්
පූදනු පිණිස පියුමක්...

කොහෙන්දෝ ආ කුරුල්ලා
මස බුදින පිළිහුඩුවා
අරක් ගත්තේ පියුම් හිස,
එකක් නෑරම ගිලියි කුඩමසු
විලෝපී තුඩගෙහි අමුණා...

-මුදිත්-
2019.12.30


මල් නෙළන මල්

"මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට"
මං කියන්නෙ කාට කාට
මලක් නේද කහට පාට?

ඇත්තටම සිංදුවේ හැටියට
මායි - අක්කයි, අපිත් පොඩි මල්
පුංචි වෙනසක් තියෙනවා මිස්
පොඩි වුනත් අපි මල් නෙලන මල්...

වනේ පිපුනත් මඩේ පිපුනත්
මල් කියන්නේ මල් තමයි මිස්,
ඒ වුණත් බුදු සාදු පාමුල
නොතියනා පොඩි මලක් මං, මිස්...

නෙලුම් කහටත් - ඕලු කහටත්
වෙන වෙනම සුදු ගවුමෙ ඉහුණත්
ඇඟට ඇඳලා බලන ජාමෙට
පේන්නෙම මට එකම පාටක්...

මගේ වැඩ පොත
ඔව් අදත් හිස්
දන්නවද, ගුරු මේසෙ උඩ ඔය
තියෙන්නේ මං නෙළුව මල්, මිස්...

වනේ මැද්දේ විසල් මහ ගස්
යටින් පිපෙනව පොඩි කැලෑ මල්
වැස්ස ඩිංගක් අහක බැලුවම
ඉස්සරින් මැළවෙන්නෙ ඒ මල්...

හෙටත් එන්නම් මලක් අරගෙන
නැති වුනොත් ගුරු මේසෙ හරි හිස්,
ගෙදර වැඩ ටික හෙටත් බැරි වෙයි
තරහ ගන්නට එපා ලොකු මිස්,

කොච්චරක් තැලුවත් කමක් නැහැ
විසි කරන්නට එපා පොත, මිස්...

-මුදිත්-
2019.12.30

Diego Rivera - The Flower vendor (Girl with Lilies)

Monday, October 28, 2019

විසිර ගිය සිහිනමය තටු අතර...

නොකල් වැස්සෙන් පිබිද
විකල් හද තානය,
දිග හරියි තටු- හැඟුම් මල් පෙති...

දෑස මත්තෙහි වැතිර
විසල් ආකාශය,
මත් කරයි නෙත
තරු සැනෙළි එළි...

ඇසට ඇන - අත වනන
උකුම උකු ආලෝක රැළි,
මව මවා තුඟු තිසර තුඩු
අවුළුවයි,
සියොළඟෙහි ගිණි..

දිගැර ලා පියපත්
ඉගිල ගිය ඉක්බිති,
කැලැත්තෙන ආලෝක සුළියෙක
නිලංකාර ම සිහිනෙකි...
... ... ... ... ... ... ... ... ... ... ... ... ...

රැය පුරා - හඬ තලා
මග කියූ රැහැසියනි,
තොපට තුති..
ඒ නමුත් - හෙට යලිත්,
පහන් කණු මුල බොහෝ
අලුත්
මළ සිරුරු ඇති...

-මුදිත්-
28.10.2019