එක එක හැඩෙන් කියවන්න

Saturday, December 5, 2015

කුමට සොයමුද පතිනි අම්මා....

නිමිත්ත:
මැද පෙරදිග ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක, එහි ම සේවය කළ ශ්‍රී ලාංකික තරුණයෙකු හා ඇතිවූ අනියම් සබඳතාවක් හේතුවෙන්, දඬුවම් ලෙස ගල් ගසා මරා දැමීමට නියම වෙයි.

ගිනි දැවෙන කතර පිට පැණි පිරුණු දඬු බෑය
නරුමකම සඟවාන කහවණුම ගෙන පෑය
මරු සිටින දිසාවේ සැඟව හිඳි දර සෑය
කිරිලියන් අපමණක් මරා පළහා කෑය
___________________________________________________

අසන වගතුග රිදුම් සනහන බිඳක් තෙත රැඳි හදවතක් නැති
බිමක කවදා සිනහසෙන්නද විසිර ගිය සඳ සියපතක පෙති
සියල් කෙළෙසුන් නැසූ පොළොවක සියල් සත වෙත මෙත සදන නිති
ඉරෙන් එපිටට පා තැබුණු තැන ඉබේ එසවෙන කැට මුගුරු වෙති

උපන් බිමමය රැඳී උන්නේ නිබඳ හිත යට සරල සුන්දර
රැඳී ඉන්නට වරම් නැතිවුණ අගහිඟ ය ජීවිතයෙ අද්දර
ණයට ගත් අත්තටු විදාගෙන පියාඹා ගොස් බිමෙන් පෙම්බර
කොපමණක් කිරිලියන් උන්නද තුරුළු කරගත් නරුම ගින්දර

සිතේ සිරවුණ නේක අගහිඟ ඇස් අගිස්සෙන් වාං දැම්මා
අතේ ගුලිවුණ කඳුළු අරගෙන නරුම කතරට බාර වෙම්මා
උපන් බිම මත රැඳෙනු බැරි වුණ වරද වහගෙන, වැරෙන් බුම්මා
සැරද මහතුනි තරහ අවසර, කුමට සොයමුද පතිනි අම්මා
                                                                            
                                                                                         -මුදිත්-
                                                                                  2015.12.04

Wednesday, December 2, 2015

කදෝකිමි වත...

වසන්තය ගෙට ආ සඳ
කොවුලෝ එමට ඇත
උද්දාම ගී ගයන්නට...
මධු බඳුන් අපමණ ඇත
සව්දිය පුරන්නට..
මඳක් හිස ඇලකර...

වසන්තය ගෙට ගන්නට
දහදිය හෙලූ, තැන තැන
ලේ කඳුළු වැපිරූ, බිම මත..
කදෝකිමියන් වෙති එක දෙක
එ'සියල්ලට ම ඉඩ දී
රහසේ අඳුරේ ම දියවෙන....

                                 -මුදිත්-
                          2015.11.23

Saturday, November 7, 2015

ආපසු හැරී එමි....

ශිශිරයක් තරමට ම ශීතල
නොවැම්බර හැන්දෑවක
විසිරුණු කටු පතුරු මත
සීරුවෙන් තබනෙමි පියවර..
කෙතරම් දිගු මගක වුව
නැවතුම්පොළක් ඇති වග
නුඹ කී අයුරු මතකය...

පිය නගමි මෙ'මග දිග
තනිවම...
පමාවිය නොහැකිය
නතරවී මතකය අස..
එහෙයින්ම අමතක කරමි
උණුහුම,
සුළැඟිල්ල පැටලුණ පෙරදින...

නොනැවතී ආපසු එමි
මෙතෙක් අත අතැර ආ මග දිග
සොයා ගත යුතුමය තොටුපළ,
ප්‍රේමයැයි නොමදැන
ප්‍රේමය එදා වැළලුව තැන...
 
                                       -මුදිත්-
                              2015.11.07

Friday, November 6, 2015

අපි බඳිමූ...!!!

ටික ටික වඩිනකොට වයසත් බරසාර
දෙන්නම වෙලා බෑ ලෝකෙට ණයකාර
අතමිට හොයන් බඳිනා කොට කරකාර
ගෙවිලා වයස අපි දෙන්නගෙ හැඩකාර

යන්තම් සිනා නුඹෙ මූණට කුමක් වැනී
රන්දම් වැලට මුතු ඇට ඇමිණුවා වැනී
මොකටද සැලුන් අක්කල ලඟ දණින් වැටී
ඔය ලස්සන වටී මට මහ මෙරක් වටී

මල් බොකෙ මොටද මිදුලෙම පිපිලා රෝස
තව තරු මල් තියේ යහනේ ආකාස
පළඳාගෙන හිතේ පෙම්බර මදහාස
තව පහු නොකර අපි කියමුද මේ රහස

හැරිලා බැලුවාම පහුවුණු හැමදාම
එක එක හැඩෙන් ලස්සන දවසක් නේද..?
පැටියෝ ටිකක් නැවතී හිතුවම මේම
නැකතක් කියා මොකවත් තව ඕනෑද..?

සාරිය හදා දෙයි අහසේ සේද වළා
මුදුවක් තනමු තරුවක කැටයමක් කපා
පලවැල තියේ නටු අග මුදු සිනා පපා
මීවිත පිරේ මල් කෙමිවල දෝරෙ ගලා

කවුරුත් නෑසියන්මයි බැලුවාම සොයා
ලඟ උන්නා හුඟක් හිත් අපි අතැර නොයා
කෙනෙකුට දෙන්නෙකුට මොකටද මගුල් කියා
ලොවටම කියමු සුළඟේ පණිවුඩය ලියා

"සෙට්බැක්" මොටද සඳ පලුවේ වාඩි වෙමූ
"ලයිටිං" ඉස්තරම් සඳ මඬලෙන් ඉහුනූ
තව මල් කම් මොටද රැය යට මල් පිපුනූ
"තැන්ක්‍ යූ කාඩ්" සුළඟේ පා කර යවමූ

                                                   -මුදිත්-
                                            2015.11.07

පුතාගේ චිත්‍රය...

තාත්තේ..!
තාත්තේ...!!
මං ඇන්ද චිත්‍රේට
හම්බුණා තරු තුනක්...!!!
තරඟෙකට තෝරන්න
හෙට ගේන්නෙයි කිව්ව..
මට ඕන සායම් එකක්...

රතු ම රතුපාට ඉර
ගස් වලට කොළ පාට
මූද තද නිල් පාට...
බෝට්ටුව "සාමය" ට
තනිකරම සුදු පාට...
හැන්දෑවෙ කරුවලට
එක වගෙයි කවුරුත්ම
තාත්තට මාමලට
ඒ හින්ද අළු පාට...

******

වැල්ල දිග විසිර ගිය
කටු රූප අහුලගෙන
කඩදහිය උඩ තියා
පුතා දුර සිහිනයක...

ළපටි හිත නොහඬවා
කියා දෙන්නද කෝම..

ජීවිතේ වසාලුව
මේ අඳුරු අවපාට,
මිල වැඩියි තවරන්න
මයෙ පුතේ පින්සලට...

                                       -මුදිත්-
                                2015.11.03