එක එක හැඩෙන් කියවන්න

Tuesday, August 21, 2018

හන්තාන, නුඹ සහ මම..

සන්තාන සෝ සුසුම් උන්නාට මග රැඳී
පෙම් පාට අහස යට මල් හාදු තව වසී
නින්නාද දෙන මතක කෙඳිරුවත් බිඳි බිඳී
හන්තාන තවම අප දෙස බලා ගෙන හිඳී
                                                              -මුදිත්-
                                                     2018.08.18

Tuesday, June 26, 2018

කතාවක ඉතිරි අඩ...

එකකට පසු එකක්
තවමත් දැල්වෙනා දුම්වැටි,
කාලය ගොලුව ගොස් නැති බව
ඉඟියකින්
ඔබට හඟවනු ඇති..

බිඳී ගිය වීදුරුවක
බිම පුරා ඇති කැබලිති,
අතරින් පතර බිම විසිරුණු
මලකින් ගිලිහි ගිය මල් පෙති,
සුසුමන් දෙක තුනක්
කුටිය හැර දා යනු බැරි......

මුවින් නොදෙඩූ බොහෝ දේ
ඉඟියකින්
ඔබට පවසනු ඇති...
                                                  -මුදිත්-
                                          2018.06.26

Monday, May 28, 2018

මැදියමක ..

හදවතේ සියුම් තැන්
මත ම ලැග හුන් මතක..
දිග හරිමි දෙපාමුළ
අඩක් වියැකුණු සඳක...
සිහිසන් ව ගිය නමුදු
තව නො මළ සිහිනයෙක..
නුඹ සිටින'යුරු දකිමි,
කිමිදෙමින් මධුවිතක...
                                 -මුදිත්-
                          2018.05.28

Monday, May 7, 2018

නික්මෙමි...

නොතෙමී හිඳිනු පිණිස ම
ශීතලෙන් මිරිකෙමින් වුව
උයන් කුටියකට වී
දිගු වස්සානයක්
පසු කලෙමි..

හේමන්තයේ එකින් එක
ගිලිහෙමින් යන පත් දැක
ගැඹුරුතම දහමක් අස
තාවර ව ගිය සිත
කූද්දා ඇහැරමි..

වසන්තයෙ පිපි මල් වල
එකිනෙක පැටලි මුදු සුවඳට
සෘතුවක් පුරා කවි ලීවෙමි..

දාහය ම කඳුළු කොට වගුරන
විසල් රුක් සෙවණක
මලානික පත් ගණිමින්
ගිම්හානයක් පසු කෙරුවෙමි..

මල් වරා ලූ පසුවත්,
තෙත සිඳී ගිය පසුවත්,
මෙතෙක් මල් දුන් බිම මත
නතර වී මග බැලුවෙමි..

ඉනික්බිති එක් මොහොතක
ඉඩෝරය වී - නුඹම සපැමිණ
දන්වා සිටින විට
මෙ බිම අතහැර යා යුතු ම වග,

ඉටි මලක් කොට, මතක රැස
පළන්දා - මල් වැරූ අතු අග
මඳක් තාවර ව හිඳ
මෙයින් නික්මී යන්නෙමි...
                                               -මුදිත්-
                                       2018.05.06

Thursday, May 3, 2018

පැහැයක් නොමැති කවියක්...

හෙළට එපිටින් නැගී,
හැඩයක් මිස
පැහැයක් නොපෙන්වන..
රැකගත් සමාධිය
නොබිඳ ම,
එ'නමුත්
දෙ'ඇස මෑතෙහි
රඳවන..
උතුවන්කඳු සිරස
නුඹ...

මග නොහැර
හැම සති අන්තයම,
එ'නුවර - මෙනුවර'තර
ඉගිලෙන..
නගරාන්තර බසයක
කුඩා කවුළුවක් අස
ක්ෂුද්‍රව ගිය මිනිස් තිත
මම...
                                                   -මුදිත්-
                                           2018.02.27
(කොළඹ- නුවර බසයක කවුළුවකට, උතුවන්කන්ද නිරාවරණය වූ ඇසිල්ලකදී ය)