එක එක හැඩෙන් කියවන්න

Tuesday, February 13, 2018

මතකයක්

කොදෙව්වේ ඈත කෙළවර
සන්ධ්‍යාව ලැගුම් ගත්
විඩාබර වෙරළතක,
මෘදුව සළකුණු ව ගිය
ඔබේ පියවර දකිමි..
මඳක් නතරව සිටිමි...

ඔබ මෙතැන පසු කොට
සෘතු ගණනාවක්
ගෙවී ඇති බව හඟිමි..

අතින් අල්ලා බලනු බැරි
සුළඟට ලිහුණු කෙහෙ රැළි
හැමදාම එක හැඩයට
නොසෙල්වී සිටින'යුරු..!
ඔව්..
මතකයක් බව
සිතට හෙමිහිට පවසමි..
ඔබ කියා ගිය ලෙස ම
යළි යළිත් පවසමි...
                                           -මුදිත්-
                                   2018.02.10

Tuesday, February 6, 2018

නිදහස...

තුරු වැල් අත් පසුරු බැඳ
මග දෙපස හිඳ හිනැහෙත්..
පළන්දා හැම නටුවක් අග ම
විළිකුන් සුරත් ඵලයක්...
අත මඳක් දිගු කරමි
අතින් අල්ලා බලනු රිසියෙන්,
එසැනින් මවෙතය
'ඇල්ලීම සපුරා තහනම්..!'
ලියා ඇති ඇස් දහසක්...

කොන්ක්‍රීට් හිස් වසාගෙන
පිපී සුළඟට වැනෙත්
දහසක්
මදාරා- පරසතු මල්..
ඒ සමග දන්වා තබා ඇති වග නම්
'සුවඳ බැලුමට තහනම්...!'

සොඳුර, මේ මාවතේ අග මය
සොඳුරු ම වසත් උයනත්..!
ඉතින්,
මුණගැසෙනු හැකි අපට
ගෙවන්නට නිසංසල මොහොතක්...!

ගත එතෙන මඳ සුළඟින්,
අතු අග මල් කිරුළු සැදි
නිවර්තන තුරු වියනින්,
ස්‍රැතිය දැන පෙම් ගී ගයන
කවිකාර පෙම් විහඟුන්,
ඈත ඉඳ අර..! අත වනන
සුන්දර වසත් උයනක්...!

...............
දොරටුවෙහි පොඩියට ලියා ඇති
'පෙම්වතුන් පිවිසීම තහනම්...!!'
                                                    
                                                      -මුදිත්-
                                              2018.02.05

Saturday, February 3, 2018

නදී...

ගිර'ග මඳහස වී
යටැ'සින් මිටියාවතට ඉඟි කරනා,
චමත්කාරය
තුහින මුහුලස ලෙහා හරිනා..

කඳුළත්, තුසර පිනි කැකුළත්
එකම සෙනෙහෙන්
ළ'තුරෙහි තබන්නී රන්දා..
පුංචි ම තණ පඳුරු හිස
පිපි මලටත්
සෙනෙහස ගෙනෙන්නී හංගා..

කොපුළතක පිපි
ඩාදිය මලක් ගෙන,
මිටියාවතෙහි නළලත පළඳා..
දෙනෙතින් මිටියාවතට සමු දී
පහළට ගලන්නී ගංගා...
                                                    -මුදිත්-
                                            2017.12.10
#Painting by Jeff Pittman

Wednesday, October 4, 2017

නෘත්‍යංගනා..

කඳුළු තුඩුවෙන් ඉගිල
සිහින සැරියෙන් පසුව,
බිම පතිත පියාපත
කටු ඇණුනු බඳ අතැ'ර..

මුදා අත් හළ බැවින්
නම නොදන්නා බිමක,
සැනෙළි පහනෙක ගොදුර
විය යුතුය මුදු අඳුර..

ගතෙහි සළු විනිවිදින
නෙතක අත් පහර මැද,
කඳුළු බිඳුවක් හිඳී
කොපුල් තලයෙක වැතිර..

නැගෙන ගී රාවයෙන්
මිදී, දුර යනු බැරිව,
පයේ හැපි හැපි හඬයි
අතරමං වූ ගිගිර...
                                                -මුදිත්-
                                        2017.09.30

Sunday, August 27, 2017

අලුත් දලුවක්...

සියලු මල් හා පත්- අත්හැර දැමූ පසුවත්
මකරන්ද අහුරක් -කර තියන් ආ සුළඟක්
මුමුණමින් තව තනුවක්
ඇරයුමකි අරඹන්ට යළි නැටුමක්...

නිසොල්මන් වී හිඳිද්දිත්
පාර වැරදුණු බඹරෙක්
හැරී අවුදින් විමසයි
නැතිද රොන් පිරි කුසුමක්...?

නොඇසුනා සේ හෙමිහින්
හිස පහත් කල පසුවත්
වැලි කැට අතර ඉඳ හිනැහෙයි
හදවත් හැඩැති ගල් පතුරක්...

නොදුටුවා සේ සිටියත්..

පොළොවට පාත් වුණු අත්තක්
ගසටත් හොර හොරෙන් පුබුදයි
යළි මල් පිපිය හැකි පැතුමක්....
                                             -මුදිත්-
                                      2017.08.22