එක එක හැඩෙන් කියවන්න

Tuesday, February 24, 2015

ඉටි පහනක්මි....


දැල්වෙමි නොනිවීම,
ගෙවෙන තුරු රැය ගණඳුර,
හමන සුළඟට එදිරිව,
රැකගමි බිඳක් හෝ ආලෝකය...

දැවි දැවී හිඳ,
පහන් වන තුරු රැය,
යන්නට යමි නොකියාම,
හිරුට ඉඩදී රහසේම...

නොතබමි භෂ්මාවශේෂ,
නුඹෙන් බුහුමන් ලබන්නට,
මිදුණු කඳුලක් පමණක්,
තියා යමි ඉතිරි කර...

ඇවැසි නම් රැක ගන්නට,
නැති නම් සූරා දමන්නට...

-මුදිත්-
2015.02.24


Tuesday, February 10, 2015

ප්‍රේමය බිඳුනු මිතුරාට...

අලුත හීරුණු තුවාලයකට,
"ස(ර්)ජිකල් ස්ප්‍රීට්" ගාගෙන,
තොල් හපාගෙන විඳින ලෙසටම,
විඳින්නට හැකි බිඳුනු ප්‍රේමය...

බිඳුනු වීදුරු කටු විසිර ගිය,
වීදියක පය නතර වුනහම,
ඇනුණු වීදුරු කටු ගලවගෙන,
වලදමාපන් හිතේ ගැඹුරෙම...

ප්‍රේමයේ හිඟ වාරික ගෙවන්නට,
පොළිය තවරා පෑන් තුඩ'ගට,
ලියූ ගිනිගත් කවිය අරගෙන,
වරෙන් දුක සැප බෙදාගන්නට...

 -මුදිත්-
 2015.02.10

Thursday, February 5, 2015

නැග්ගහම හපුතල් මුදුනට- පේනවා ජීවිතේ අඩියම...

හති ගහන බදුලු දුම්රිය,
මුවින් නොදොඩා උන්නට, 
දන්නවා ඇති තේ ගස් යට, 
වළදමා ඇති උඹලගෙ හිත...

තේ කහට දළු ගොන්නට, 
දාඩිය සුවඳ ඉහුනම, 
තේ කූඩෙ පතුලට, 
වැටෙන එක රුපියල දෙක...

හෙටත් ජීවත් වෙන්නට, 
තියන- නොකියන හේතුව, 
රිදුම් පිරිමැද පූදින, 
මළානික සිනහව විතරද... 

හැපෙන තේ දල්ලක, 
තිත්තයි- ජීවිතේ පැණිරස, 
නැග්ගහම හපුතල් මුදුනට, 
පේනවා ජීවිතේ අඩියම... 

-මුදිත්- 
 2015.02.05


Tuesday, January 20, 2015

මේ වසන්තය නොවේ නම්...

මේ වසන්තය නොවේ නම්,
කට කොනින්වත් හිනැහී බලා..
යන්නටම හිත කියනවා නම්,
යන්න නුඹ පියමං වෙලා...

පුර කළා සොළසින් එකින් එක ගෙන,
නොකියාම අව අටවක වෙලා..
නුඹ යන්න නික්මී අවර අහසින්,
එක රැයින් මට පිටුපා නොයා...

දුර ඈත තරුවක මැරෙන එළියක,
තව එකම කවියක් හංගලා..
නුඹෙ එළිය අරගෙන යන්න අහසින්,
සඳ සාවි මගෙ තනියට තියා...

 -මුදිත්-
 2015.01.16

Saturday, January 17, 2015

පොඩි මැණිකේ...

වැහි කෝඩේ අවදි වෙලා බක් මාසේ,
නිල්ල වැටුනු ගහ කොළ මල් වැරුවා සේ,
පුංචි කෙළී ගෙට වෙනවා එන මාසේ,
හීනෙන්වත් ගමට වරෙන් පොඩි මැණිකේ...

ඉර රස්නෙට වෑ කණ්ඩිය ගිනි ගැහුනා,
ළා දළු හේන ඉහට උඩින් උණ ගැනුනා,
ණය පොත අරන් සිදාදියට පය ඇදුනා,
අදටත් ලියුං කඩදහියක් වත් නැතුවා...

රන් දම් වලට ඇහැ ගිනිකණ වැටුනාද,
ඉන්නා තැනක යහතින් උඹ ඉන්නවද,
ආපහු එන්න ගිය පය හොර උනාවද,
තාමත් පොඩි උන්ට අම්මා උඹ නේද...?

 -මුදිත්-
 2015.01.18