එක එක හැඩෙන් කියවන්න

Sunday, June 2, 2024

මොනවාද ඉතිරිව ඇත්තේ...

හරිත වන කැටියේ
කේතුධාරී තුරු සෙනගකගේ
පැවැත්මේ මායා සුසුමයි මේ
ඝන ඝනව
මා වටා කැටිවෙන්නේ...

හරිතව සදාකල්
නිරන්තර වැසි වසින - නිවර්තන හදවත
මා නමින් රැකගන්නට
පිලිණ දුන් වන තීරයයි මේ
මා වටා පැතිරී හිඳින්නේ...

නිල්ල වැඩිපුර නොගෑවුණු
මැදී ගිය මංතීරු අතරේ,
විලවුන් සුවඳ දියැවුනු
ඩා බිඳක සිහිලේ..
මට තවම හමු නොවුණු
යමක් මිහිරක් ඇති,
ඒ නිසයි ඔබ ඔතැන ඇත්තේ...

සංසාර මාවත - බෙදි බෙදී යන විට
එක මගක් පමණක් නොවෙයි
එකම ගඟ හරහා යන්නේ..
මේ විසල් විශ්වයේ
කුරා කුහුඹුවන් අපි,
මේ මොහොත මිස මොනවාද
ඔබට මට ඉතිරිව ඇත්තේ...

-මුදිත්-
19.05.2024 (සිංහරාජ වන මායිමේ හිඳ)

Photo by : Mudith Vidanagamage

මතක මීදුම මැද..

මැදී ගිය පටු මගක,
මඩ කඩිත්තක දියැවෙයි 
රබර් යායට ඉහළින් එබුණ සඳ...

සෙත් පතා තුන් ලොවටම
සියක් සැතපුම් දුර ගෙපැලක
දැනුදු දැල්වෙනු ඇති පාන් පැල...

කුරුලු පාලුව පුරා, පාලුව ම රජවෙන දවසක් ගැන..
සිහිනයක වත් දැක තිබුණාද, 
නිහඬවම ඉන්නේ මහ නියර...?

-මුදිත්-
2024.02.13

Old Man, Painting by Dominique Dève

Friday, April 5, 2024

සඳට ඉඩ දෙන්න පෙර...

දොළ දියෙන් දොවාගෙන අත පය,
රබර් යායක් යටින්
ඇදි ඇදී එයි ගොම්මන...

වැඩ ඇරී එන'තර - මහ නියර මගහැර

අඳුර ඩිංගක් ගනව ගිය තැනකදි

කිරිලි තුඩකට මාරුවෙයි

සකලයන් අඹන්නෙකු අත ඇති වී මිට...


ඉර ඇනෙයි ලුණු මිරිසක් ව අවරදිග..


සුනු සහල් බත් මිටක්

සරිවෙයි සම සමව

කටවල් තුනකට,


සඳට පුළුවනි දැන්

කැමති යෝගයකින්

උදා වෙන්නට අහසට...


-මුදිත්-

2023.10.07


ඡායාරූපය අන්තර්ජාලයෙනි
ඡායාරූප සබැඳිය: https://deborahsilvermusic.com/?q=leaf-and-vase-original-geometric-cubist-still-life-painting-ii-ab974RtW 


Wednesday, December 20, 2023

ඇත්තම සතුට..!

නිමා වෙලා යන විට අවසන් එපිය
ජීවිත කතන්දර සේරම එක කොපිය
ආයෙත් කටේ දාගෙන ඊයේ ටොපිය
"ඇත්තම සතුට..!" සොයමින් යන අපි අපිය

-මුදිත්-
20.12.2023

සිය ගණනක උපාධි අපේක්ෂක කොලු කෙල්ලන් සැරිසරන BMICH පරිශ්‍රයේ බංකුවක, මල්ලීගේ උපාධි ප්‍රදානෝත්සවය අහවර වන තෙක් තාවර වෙන අතරතුරේදී ය.

Image: Happiness by Shira Sela

Thursday, November 30, 2023

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට

නිමිත්ත: කුලී කාමරයේ බිත්ති පැල්මක දළු ලා වැඩෙන පැණි කොමඩු පැළයකි.


තෙත රැඳි ඉසව් නොදැනිම මගහැරුණාද

දළුලන හරිත රේඛා මග හැරියාද

සීනෙක පෙනුණු රහසක් මග කීවාද

නොලැබුණු යමක් වෙනුවෙන් මෙහි ආවාද


ඉඳහිට ඉහෙන දිය මිස, දිය මං නැතුවා

දුහුවිලි කහට කුණු මිස පොහොරක් නැතුවා

දළ රළු දළඹ මත මහ පොළොවක් නැතුවා

හෙමිහිට මුල් අදිනු මිස සරණක් නැතුවා


"ඉන්නේ දුම්බරයි මහ කලු ගලක් යට

කන්නේ කරවලයි රට හාලේ බතට"

සීනෙන් වැටෙන විට මතකයෙ මහ හෙළට

මා වාගෙම උඹත් යනවා ඇති ගමට


ජීවයෙ රටා ඇඳ රළු බිතු කොපුල පිට

දුර නෑයෙකු ලෙසින් මට පෑ සිනහ කට

කොටුවුණු අගනුවර මුල් නැති පොළොවකට

උඹත් මාත් දෙදෙනෙකු නොව එකෙකි මට


-මුදිත්-

30.11.2023


ඡායාරූපය අන්තර්ජාලයෙනි.