එක එක හැඩෙන් කියවන්න

Sunday, January 1, 2023

ඇය, සිහින සහ තව තවත් සිහින

මහලු නේපථ්‍යාගාර බිත්තියත්, මෙපිටින් එල්ලා ඇති කුඩා තිරකඩටත් අතරින් හැඩකාර කෙල්ලක් මතුවෙයි. දෙපස විපරම් කරයි. ගත රේඛාවක පවා තැවරුණු කෙලිලොල් බවකි. උරමඬල මත දුනු හී දරනා කාලවන් තුණු දේහධාරී රුව හිටිවනම ප්‍රාදූර්භූත වූවාක් වැන්න. ගත ලකුණින් වනචාරී ය. මස් පිඬු කැපී පෙනෙනා සේ ළපැත්තේ ඇඳි වෙස්ගැන්නුම් රේඛා ය. බොඩි පේන්ටින් ය. සුනම්‍ය ඉරියව්ධාරී ය.  මොහොතකට පෙර ද දැක පුරුදු රුව විමසන මොළය, විදුලි වේගයෙන් හැඳුනුම් ලකුණු ගලපා දෙයි. වැදි රජු ය. මේ දැන් තිරකඩින් මෑත් වූ බුහුටි තරුණිය වහා ඔහු අතින් ඇද, ඩා බිඳෙන් දිලිහෙන අඳුරු කොපුලත හාදුවක් පලන්දා සැනින් අතුරුදන් වන්නී ය.

-මනමෙ කුමාරි ද? මම අසමි.
            -නෑ. නමක් මුහුණක් නැති නාඳුනන හඬකින් පිළිතුරු සැපයෙයි.
            -එහෙනං?
            -අත් උදව්කාර කෙල්ලක්. වැදි රජාට ඉන්න එකාගෙ ලයින් එකක්..!
            -.....!!!

කෙල්ල මැකී ගිය පසුබිමේ මනමේ කුමරියත්, කුමරුත් පිවිසෙයි. වැදි රජු සිනාසී දෙදෙනාටම ‘හග්’ එකක් දෙයි. ඉනික්බිති සිනහසෙමින් මංගල අසිපත කුමරු අතට දෙයි. මේ තිරය පිටුපස ය. නේපථ්‍යාගාරය අද්දර ය. මනමේ කුමරු පෙරළා සිනහ සී වරක් අසිපත දෙස බැල්මක් හෙලා ඉනික්බිති කොපුවේ ලා ගනී.

-Uber එකක් දාගෙන තුන් දෙනාම යමං. වැදි රජු කියයි.

ඉන්පසු මනමේ කුමරිය හා වැදි රජු නේපථ්‍යාගාරය දෙසට නික්මෙයි. මොහොතකට නේපථ්‍යාගාරයට යාබද පටු බිම් තීරුවෙහි මනමේ කුමරුන් පමණක් තනිවෙයි. මොහොතක් උන් ලෙසම තාවර වන කුමරා එක්වරම කොපුවෙන් අසිපත ඇදගන්නේ, මුළු කඩු තලයම ගිලීයන සේ වැරෙන් අසිපතින් ළයට ඇන ගනී. පැලී ගිය ළමැද්දෙන් විදින්නට වූ කැදලි කැදලි වන් රත් පෑ රුධිර ධාරා, සර්ප පැටවුන් ව ‘පූෂ්’ ගා පිඹිමින් මා කරා ඇදී එන්නට වෙයි.

පිපිරෙන්නට තරම් වන පපු ගැස්මකින් මම තිගැස්සී ඇහැරෙමි. නළල දෙපැත්තෙහි වූ නාඩි දෙකක ගැස්ම, හිස් කබල තුළ යකුළු පහරක් ව දෝංකාර දෙයි. දෙකන් පල්ලේ විලාප ලන මුහුදක ‘හෝ’ හඬ ය. ඇඳ රෙද්ද දහදියෙන් තෙත් ව ගොස් ය. මම කෙළ ගිලින්නට තැත් කළෙමි. දිව, මුළුමනින්ම වියැළී ගිය මුඛ කුහර පත්ලේ නන්නත්තාරව හැකිළී ඇත්තේ ය. කටේ කෙළ බිඳක් නැති වන සේ, සිරුරෙහි වූ ඇදගත හැකි අවසාන දිය බිඳ තෙක් ඇදි ඇදී දහදිය ව යහන මත වගුරා ඇති ලෙසකි. මම වීදුරු ජෝගුව ගෙන මුවට ඇල කරමි. බස බස ගා මුව තුළට දිය ඉහිරෙයි. වැඩිමනත් දිය මුව දෙපසින් පෙරි පෙරී දිය ඇල්ලක් ව පපු මඬල තෙමාගෙන සරම මතට ඇද හැලේ. මම ඇල් මැරී ගිය දියෙහි සිහිලස විඳ ගනිමි. මේ දුටුවේ පෙර නුදුටු සිහිනයකි. නුහුරු ය. එහෙත් සැමදා නින්ද බිඳිනා හුරු පුරුදු තිගැස්ම ය. පසුගිය රෑ ගණනේ මගහැරුණු නින්දක නිදි වාරික පොළිය ද සමග මෙසේ ඇතැම් දිවා කාලයන් හි දී දෑසට ඇතුළු වේ. නා නා විධ සිහින වල අතවරයෙන්, ජීවිතයට වඩා මරණයට ළං ව දැනෙනා තිගැස්මකින් බිඳී යන්නේ එවන් වූ දිවා නින්ද ය.

බරැති අඩි හඬක් මා දෑසෙහි ගැටේ.

ළං ළංව රැළි වී ඇති ඝන ජනෙල් තිර රෙද්දෙන් දිවා හිරු රැසෙහි වැඩි පංගුව වළකාලයි. තිර දෙකක් අතර වූ පටු විවරයකින් සෝමාරි අන්ධකාරය ඉරාගෙන කඩා වැදි හිරු රැස් තීරයක් ලියන මේසය මත බරැති අඩි තබමින් ඇවිදින්නේ, දින කිහිපයකින් අලුත් නොකල මල් බඳුන අසල මදක් නවතියි. අතට හසු වන මලක් ගෙන දෑතින් ම පොඩි කරයි. මලෙහි විලාපය දෑසේ ගැටෙද්දී එ හඬ පරයා, හිරු රැස වියරුවෙන් සිනහසෙයි. මට දෑස වසන්නට ඕනෑය. එහෙත් ඇසි පිය නොසෙල්වී ම තිබෙයි. තවමත් විලාප දෙන මලෙහි ගන්ධය කාමරය පුරා විසිරෙයි. මම අතට හසුවන කොට්ටයක් ගෙන හිස සිරකර ගනිමි.

*** *** ***

ගස් කඳෙහි කෙටූ කැපුම් සලකුණු අනුව හතලිස් අට පෝයක් හමාරය. එනම් සාර අවුරුද්දක් ගෙවී ඇත්තේය. ඇත්තය. එහෙත් කොතැන් සිට සාර අවුරුද්දක් ද..? කවදා සිට සාර අවුරුද්දක් ද..? පළමුවැනි කැපුම ලූයේ කවදා ද? සිරිතේ හැටියට නම් පෝය හඳ මැකෙන්නා හා ම හිමිදිරි පාන්දර ය. එහෙත් කවර හේතුවකට ද? මම පිටුපසින් මා වෙත කොඳුරන හඬට අවනතව පියවර තබමි.

-මං බොට වඩා නිස්සද්දයි ද මංදා.. නාඳුනන හඬින් මිමිණෙයි.

මම තව තවත් සීරු මාරුව පා නගන්නට තතනමි. පා පැටලෙන්නට වෙයි. මගේ ම පය මට ම අවනත නොහී, තබන තබන පියවර තැබෙනුයේ නුහුරට ය. බිම වසා ගත් කටු පොකුරු, පතුලේ මස පලාගෙන කිඳා බසියි.

-ඉක්මන් නොකෙරුවොත් වස පාපයක් වෙන්නෙ. අඩි ඉක්මන් කෙරුවනං..

ඉදින් මට නතරවන්නට නොහැකිය. මා උරමත ජීවිතයක බර වෙයි. පාප කඳක බර වෙයි. උසුලා ගත නොහී දෙපා ඇඹරෙයි. එහෙත් මට නතරවන්නට නොහැකිය. මම නොනැවතී ලේ ගලන දෙපා අද්දමි. හතිලන හඬක් ඇසෙයි. මෑතිනි. ඒත් කොයිබින් ද? කොයි ඉසව්වේද? මගේ ඉඳුරන් කිසිවක් නොකියයි.

-ඉක්මන් කරපං. ඔය ඔතන.. කොකා ඇදපං. ඉක්මන් කරපං...!!!

මම තිගැස්සුණෙමි. “කොකා ඇදපං..?” මම වහා මා සුරත දෙස බලමි. වෙඩිල්ලක් කෙටූ බෙහෙත් තුවක්කුව මා අතය.

-මං කවුද..? මම අසමි.

-උඹ තමයි දඩයක්කාරයා..

මම කලබලයෙන් තුවක්කුව උරයට වත්තම් කරගන්නට වෑයම් කරමි. මා සුරත වෙවුලයි. තුවක්කු ඇස හතර අතේ වැනෙයි. ඒ හා ම තිරිසන් උගුරක ගොර ගොරය ද නැගි නැගී එයි. එහෙත් ඒ කොයි අත ද..? මා ඒ මේ අත වැනෙනු දැනෙයි. වන බූටෑව බිඳී යන හඬ ඇසෙයි. එහෙත් ඒ කොයි ඉසව්වේද..? මොහොතකින් ගැහැණු ගිරියක විලාපය වන බූටෑව පලාගෙන නැගී තවත් මොහොතක් රැව් නැගී මැකී යන්නේ තවත් තිරිසන් ගොරයකින් පසු මූකලාන ම කිසිවක් සිදු නුවූ සේ පුරුදු නිහැඬියාවෙහි ගිලෙයි. මම වහා ඇසටු රුක් මූලය කරා දිව යමි. නැගි නැගී එන්නාවූ පාප බර කඳින් මා උර ද, දෙප ය ද එන්න එන්නම බර වෙයි. මා දෙ පය විළුඹු තෙක් පොළෝ තුළ ගිලී ඇත්තේය. මම නැවතුමක් නොතබා ම දිවයමි. දැන් දැන් ඈත ඇසටු රුක් මූලය පෙනෙන්නට වෙයි. මා, මේ සියලු පාපයෝ රුක්ඛ මූලයෙහි තබා පිටදී වාරු ගත යුතු ම වෙයි. දැන් දණක් තෙක්... නැත. ඉණ තෙක් මා කය පොළොවෙහි ගිලී ඇත්තේය. තව දුරටත් පොළොවක සංවේදනයක් මා දෙපයට නොදැනෙයි. මගේ පා නිදැල්ලේ වැනෙයි. ඊළඟ මොහොත මා ඇස් මානයේ පොළෝ තලය පෙනී ඝන අන්ධකාරයේ මා දෙඇස ගිලී යයි.

*** *** ***

            ඈ එක ම තැන නිශ්චලව හිඳිමින් එකපිට එක සිහින කියෙව්වාය. සයිබරේ ඈත ඉසව් වල පවා කරක් ගසමින් නිධාන කථා ඇහින්දාය. දිගු රාත්‍රීන් පුරා තාරුකා ගණන් තබ තබා එකී තාරකා තිත් යා කළාය. සඳ කෙඳිති පිස දම දමා, වළා කැබලිති අතරින් කුඩාතම තාරුකාව පවා පාදාගන්නට තැත් කළාය. හති වැටෙන තුරු හැකි තරම් තාරුකා මතු කරගත්තාය. අවසානයේ එක්තරා එක් රැයක ඒ සියලු තාරුකාවෝ සක්වළට පවරා දෙන්නට තීරණය කළාය.

            මම මහාද්වීපයෙන් මහාද්වීපයට පනිමින්, කැමරාවක් අතපත් දඩයක්කාරයෙකුව උන්නෙමි. පාප බරින් ද, විඩා වේදනාවෙන් ද ඔද්දල් වූ ආධ්‍යාත්මය වත්තම් කරගෙන නැවතුමක් සොය සොයා ලුහුබඳින දඩයක්කාරයෙකු ව උන්නෙමි.

*** *** ***

           මා උන්නේ පාරාදීසයක ය. එකම ඇස් බැල්මෙන් පොකුණු පතුළ තෙක් දැකිය හැකි නිසල, නොකිළිටි ජල තලය ය. පොකුණු තෙර නිදහස ආශ්වාදනය කරමින් සාරසුබාවට වැඩුණු ඵලින් බර මිදි වැල් ය. ළය මට්ටමට නූස් වූ රත් පෑ ඵලයෙන් දිලිහෙන්නා වූ දෙළුම් පැළ ය. දෑස් එක එල්ලෙහි සරුවට වැඩුණු රනින් දිලිහෙන තැඹිලි පැළ ය. මේ නම් පාරාදීසයක් නොවන්නේ කෙළෙසින් ද..? රිසි ලෙස අවට විඳ ගන්නා දෑස මඳකට නතර කරගන්නේ පොකුණු කණ්ඩිය අසල ම ජලය තුළ වූ දිලිසුමකි. මම විපරම් ව විමසමි. රනින් කළ කිසිවක කාන්තියකි. නැගෙන්නා වූ සිත් දෙගිඩියාව පරයා මම සීත දිය තුළට අතපොවමි. පුදුමයකි, නෙතින් දුටු සිහිලස අංශු මාත්‍රයකුදු ජලයේ නොවේ. මම දිලිසුම් දුන් වස්තුව වෙත නෙත් යොමුකළෙමි. මා අත ගැටුණු දියෙන් නැගුණා වූ තරංගයෝ පෙරැළි කරමින් උන්නේ පෙර වූ නිසලතාවය මත ය. පොකුණු පත්ල කෙසේ වෙතත් ජල තලයෙන් අඟලක් තරම් වත් යටට නොපෙන්වන සේ පමණටත් වැඩියෙන් ජල තලය උදම් වී ඇත. මා මෙතරම් චණ්ඩ ලෙස ජල තලය ස්පර්ශ කළේ නැත. කෙසේ හෝ දැන් දිලිසුම් දුන් වස්තුව ද පෙනෙන්නට නැත. පොකුණු දිය එසේ හැසිරෙන්නට තීරණය කරද්දී මම ද උත්සාහය අත් නොහරින්නට තීරණය කළෙමි. දැන් ඉතින් කෝකත් එක ය. මම මතක සීමාව දෑතින් පිරික්සමි. ගල් බොරළු අතරේ, පෙඳ පාසි අතරේ අවසානයේ එකී සිලිටු වස්තුව මා අතැඟිලි අතරට හසු විය. මම එය වහා අත්ලට ගතිමි. මුදුවකි. තනි රන්මුවා මුදුවක පලාවන් ගල් දෙකක් මැද, රත් හිරියල් පෑ ගලක් ඔබ්බවා, මා සුරත මැදැඟිල්ලෙහි මිනුම් ගෙන සෑදුවාක් මෙන් වූ මුදුවකි. එහෙයින් ම මම එය පැළැඳගන්නට තීරණය කළෙමි. කැළඹුණු පොකුණු දිය යලි නිසොල්මන් වීමට යම් කාලයක් ගන්නා බව පෙනෙන්නට වූ හෙයින් මම පාරාදීසය පුරා සිතැඟි පරිදි ඇවිද යන්නට තීරණය කළෙමි. මෑත ගී ගයනා කුරුළු සමූහයා ය. ඈත නෙත නිවනා සමනළ සේනා ය. මලින් පිරි කුඩා පඳුරු මත රැඟුම් රඟනා බඹර මී මැසි සමූහයා ය. දිලිසුම් නගන තරමට පුෂ්ටිමත් ව පිම්බුනු අඹ ඵල ය. රඹ ඵල ය. වැනුමකට පවා ඉසිඹුවක් නොදෙනා තරමේ සෞන්දර්‍යයකින් ආඪ්‍ය වූ වටපිටාව ය. මම  අඹයක් නෙළා ගැනුමට නැග ආ ආශාවෙන් යුතුව කදිම අඹයක් වෙත සුරත දිගු කරමි. එකෙනෙහිම සුරතේ මැදැඟිල්ල, මුදුව ලූ තැනින් රිදුම් දෙන්නට වන්නේ මම සැනෙකින් සුරත ආපසු ඇදගන්නට වීමි. රිදුම එලෙසින්ම ය. මම මැද ඇඟිල්ල පිරික්සමි.  මුදුව යන්තම් තද ව ඇති සෙයකි. මම සුළු මොහොතකට මුදුව ගලවා ලන්නට තැත් කරමි. පුදුමයකි. ගලවා ගන්නට නොහැකි තරමට මුදුව තදවී ඇත. නැත, නැත.. ගලවා ගන්නට තැත් දරනා හා ම එය තව තවත් තද වන්නේ ය. දැන් දැන් ඇඟිල්ලේ වේදනාව ඉවසුම් නොදෙනා තරමට ම නැගී එන්නට වෙයි. මට මුදුව ගලවා ගන්නට ම ඕනෑ ය. නැතහොත් තව සුළු මොහොතකින් ඇඟිල්ල කැඩී යන තරමට ම මුදුව කුඩා වී යනු ඇත. කළ හැකි අන් විසඳුමක් නොවූ තැන වේදනා විකල්ලෙන් ම නැඟ ආ සිතුවිල්ලකට අනුව මම ඇඟිල්ල හකුළා ගැනීමට තැත් දැරුවෙමි. ශරීරයේ රැඳි සියලු වෙර යොදා තැත් දරත් ම පුදුමයකට මෙන් වේදනාව යාන්තමින් අඩුවී යන්නාක් මෙන් දැනෙන්නට විය. මම එයින් ලද සහනයෙන්, තව තවත් අතැඟිල්ල කුඩා කර ගැනීමට ම වෙර ලූයෙමි. දැන් දැන් ඇඟිල්ල කුඩා වන අයුරු මට ද පෙනේ. නැත, ඇඟිල්ල පමණක් නොව සුරත ද කුඩා වෙමින් යන්නේ ය. මට, මා සිරුර දෙස බැලුනේ නිතැතින් මය. මා ලිලිපුට්ටෙකු වෙමින් උන්නේ ය. මට කෑ ගැසුනි.  එහෙත් අසුරු සැනෙකින් මා කුහුඹුවෙකු තරමට ම ක්ෂුද්‍ර වී මුදුවේ සිදුර අතරින් අනන්තය තෙක් ඇද වැටෙනු දැනෙන්නා හා ම ඊළඟ තත්පරය කළු කුහරයක් තුළට ඇද ගැනෙන්නාක් මෙන් සියලු දෙය ඝන අන්ධකාරයේ ම ගිලී ගියේ ය.

*** *** ***

            ඒ මා ලබාගත් අවසාන ඡායාරූපය යි. කැමරා ලෙන්සුව හා ඒකාත්මිකව ලබාගත් සුරතාන්ත මොහොතයි. හති ගසන කෙටි තත්පර අතර අතරමං මොහොතයි. මා ඉකුත් සිහිනය දුටුවේ ශරදයේ සැන්දෑවක අවසාන තුරුපත් කිහිපය ගසකින් අත්හැරෙන මොහොතක, ආලින්දයේ වූ ඇඳි පුටුවක් මත්තෙහි දී ය. මම හුරු පුරුදු භූමියෙන් බොහෝ ඈතට ගසාගෙන විත් තිබුණි.

ඉදින්, ඉකුත් සිහිනය මා යළි හැරී යා යුතු බව කී සංඥාව ම වූයේ ය.

*** *** ***

 එළැඹ ඇත්තේ අපගේ අවසාන හමුවීමයි. හුරු පුරුදු කොදෙව්වේ, අගනුවර ඉතා මෑතක ඉදිකරන ලද කෝපි හලක් අප වෙනුවෙන් අසුන් යුගලක් පරෙස්සම් කරගෙන තිබුණි. ඒ, ඈ කල ඔන්ලයින් ඉල්ලීමකට අනුව ය.

-ඉතිං.. ඔයා අන්තිමට ආවා ඒ කියන්නෙ. මං හිතුවෙ අතුරුදහන් උනාම තමයි කියලා.. ඈ සිනහසෙන්නීය. කොහොම හරි ඒක ලොකු කාලයක්.. ගෙවුණු කාලෙ...

            -ඔව්, ඇත්ත..මං ලෝකෙ පුරාම වගේ ඇවිද්දා.

-කොහොමටත් ඔයා නතර වෙන්න කැමති මනුස්සයෙක් නෙමෙයි නේ. මතකද ඔයාම එහෙම කිව්වා අපි අඳුරගත්තු මුල් දවස් වල ම..? ඈ දෑස ඉරක් සේ සිහින් වෙයි.

-ඔව්.. ඔයාට තරමට ම මටත් මතකයි. ඒ මුළු දුරම මං ඇවිද්දෙ මේකට. මං හිතන්නෙ මම මට ඕනෙ කරල තිබුණු අන්තිම පින්තූරෙත් ගත්තා. අන්තිම ම පින්තූරෙ. හැම වැඩකටම තියෙනවා යුනීක් ඔර්ගස්ම් එකක්. මං හිතන්නෙ මගේ පින්තූර ගැනිල්ලෙ ඕර්ගස්ම් එක තමයි ඒක. ඉතිං මේ පින්තූරෙන් පස්සෙ මට, පළවෙනිම වතාවට නවතින්න පුළුවන් බව දැනුනා.

            -මහන්සිද..?

            -චුට්ටක්වත් නෑ..

      -ඉතිං කෝ ඒ පින්තූරෙ..? බලන්න බැරි එකක් වෙන්න බෑ නෙ?

-පිස්සුද.. බලන්න බැරි දෙයක් කොහොමද පින්තූරයක් වෙන්නෙ.. සේරටම කලින් මට ඔයාගෙන් දෙයක් අහන්න පුළුවන්ද? මේ පින්තූරෙ ගැනම තමයි.

            -ඉතිං අහන්න.. ඕනෙ දෙයක් අහන්න.. මුල ඉඳන්ම ඔයාට ඒ නිදහස තිබුණා.

-ඔව්, මං දන්නවා. මේකයි.. මේ ෆෝල්ඩර් එකේ මම ගත්තු හැම ෆොටෝ එකම තියෙනවා. එහෙම කිව්වට මෙතන මහ ගොඩක් ෆොටෝස් නෑ. ඔතනින් ඔයාට වැඩිපුරම දැනෙන, සෙට් වෙන ෆොටෝ එක මට තෝරල දෙන්න.. ඇති තරම් වෙලාව ගන්න. වෙලාවෙ අව්ලක් නෑ.

            -ම්..ම්.. හරි ඉන්නකෝ...

කාලය ගෙවී යයි. හති ගසන කෙටි තත්පර ද, මග බලන දිගු තත්පර ද එක එකක් පැටලෙන්නට වෙයි. එකකට පසු එකක් ලෙසද, එක මත එක එකක් ලෙසද පැටලෙන ලිහෙන, ලිහි ලිහී පැටලෙන හරඹය කෙමෙන් අවසාන වන ලකුණු පලකරමින් කෙටි-දිගු තත්පර, හුදෙක් ම තත්පර බවට රූපාන්තරණය වෙමින් සිය විශේෂණ පද වලින් මිදීමට පටන් ගෙන, අවසානයේ අති සාමාන්‍ය තත්පර බවට පත් වූවෝ ය.

-මෙන්න මේක. ඈ කීවා ය. ඇයි කියල අහන්න එපා. ඇහුවත් හරි කෙලින් හේතුවක් කියන්න තේරෙන්නෙ නෑ. මේක මට බැලන්ස් වගේ. හැම අතින්ම.. colors, frame එක, composition, සේරම... මට ඊට වඩා කියන්න තේරෙන්නෙ නෑ. ඒත් මේක තමයි ඒක.

මට ඒ පින්තූරය, මා සිතූ පින්තූරය ම දැයි සැකයක් නොවීය. ඒ තරමට ම ඒ එයම බැව් මම දැනසිටියෙමි. එහෙයින් ඈ අතට පත් කල ඡායාරූප සහිත වූ මා ජංගමය යළි මා අතට නොගෙන ම මම මෙසේ කීවෙමි.

            -හරි, දැන් ඔය ෆොටෝස් සේරම sort කරන්නකො, old to new වෙන්න.

-ම්.. හරි.. මේ මේ.. පොඩ්ඩක් ඉන්න. මේකද එතකොට ඔයා ගත්තු අන්තිම ෆොටෝ එක..? විස්මපත් ඈ දෙනෙත මා වෙත වීය. මම කිසිත් නොකියා සිනහසුනෙමි.

            -ඒකට නම් coincidence කියල කියන්න හිතෙන්නෙ නෑ මට. ඈ කීවාය.

-ඔව්. එහෙම කියන්න ඕනෙත් නෑ. ඔය ෆොටෝ එකෙන් overall මට feel වෙන්නෙ ඔයාව. මටත් ඒක විස්තර කරන්න තේරෙන්නෙ නෑ. මම හිටියෙ මහ පැටලැවිලි ගොඩක. හේතුවක්, අගක්- මුලක් හිතාගන්න බැරි පැටලැවිලි ගොඩක. එහෙම කාලෙකදි තමයි ඔය ෆොටෝ එක ගැනුනෙ. ගත්තු ඒ ෆොටෝ එක දිහා එවෙලෙ ආයෙ බලනකොට දැනුනු හැඟීම නම් කවමදාවත් මට විස්තර කරගන්න බැරිවෙයි. කොහොම හරි ඉන් පස්සෙ අර පටලැවිලි තුනී වෙලා ගියා වගේ දැනුනා. මට දැනෙන විදියට ඒ තමයි මම ඔයාව අවබෝධ කරගත්තු වෙලාව. ඔයාව කියවල ඉවර උනා වගේ දැනුනු වෙලාව. පොතක් කියවල ඉවර උනාම, ඒකෙ තිබුණු කාරණා බරක් නැතුව අවබෝධ උනාම මිනිහෙකුට දැනෙන්නෙ කොහොමද, අන්න ඒ වගේ හැඟීමක්. ඊට වඩා ඒ ගැන කියන්න මට තේරෙන්නෙ නෑ, ඉතින් ඒ නිසා තව තව විස්තර කරන්න කියලා කියන්න එපා.

ඈ නිහඬවම මා දෙස බලාගත්වනම උන්නාය.

-මට තව එකම එක දෙයක් තියෙනව ඔයාට කියන්න බැරිවුන. ඒක හීනයක්.. ඔය කියපු දවස් වලම, ෆොටෝ එක ගත්තට පස්සෙ දැක්කෙ. අර ඉස්සර දකිනව වගේම අමුතු හීනයක්..

-කියන්නකො.. ඈ ඒ හුරුපුරුදු අතීත ඉරියව්වට මාරු වෙමින් කීවාය.

-මං හිටියෙ පාරාදීසෙක. නිල් කැටේට වතුර තියෙන පොකුණක් තිබුණා. මං දැකපු පැහැදිලි ම, පිරිසිදු ම වතුර. ඒකෙ අයිනකට කිට්ටුව පතුලෙ තිබුණා මුද්දක්. ලස්සන ගල් තුනක් අල්ලපු මුද්දක්. මං ඒක අරගත්තා. පොකුණ නං කැමති උනේම නෑ වගේ ඒකට. ඒත් මං ගත්තා. අරන් මගේ මෙන්න මේ ඇඟිල්ලෙ දාගත්තා. දාගෙන වටපිටේ හැඩ බල බලා ඇවිදිද්දියි මට තේරුණේ ඒ මුද්ද එන්න එන්නම හිරවෙන බව. කොහොම හරි ඒක ඇඟිල්ලෙ ඇටේ තද කරන තරමට ම හිරවෙන්න ආවා. මට වෙන කරගන්න කිසිම දෙයක් නැති තැන කැක්කුමේ විකාරෙන්ම මම ඇඟිල්ල හීනි කරගන්න දැඟලුවා. තර්ක කර කර හිතන්න පුලුවන් වෙලාවක් නොවුනට මට එවෙලෙ හිතුණා මුද්දට වඩා චුට්ටක් හරි ඇඟිල්ල පුංචි උනා නම් මේක ගලවගන්න පුලුවන් වෙයි කියලා. මාර වැඩේ කියන්නෙ ටිකකින් මුද්ද බුරුල් වෙන බව දැනුනා. බලනකොට ඇඟිල්ල නෙමේ, එහෙමපිටින්ම මම කුරුමිට්ටෙක් වෙන්න පටන් අරන්..! ඒ කුරුමිටි වෙන එක නතර නොවී මම මුද්දටත් වැඩියෙන් පුංචි වෙලා මුද්ද ඇතුලෙන් මහා අන්ධකාරෙකට වැටුණා. ඒ එක්කම මං ගැස්සිලා ඇහැරුණා..

කෙටි නිහැඬියාවකින් පසු ඈ දොඩමළු වූවාය.

-ඒකත් අර ඉස්සර වගේ විකාර හීනයක්ම තමයි. ඔයා කිව්ව වගේම ඉස්සරත් ඔයා දැකපු විදියෙ ඒවා වගේ. ඈ අතීත කතා ඔස්සේ ඇවිදයන්නී ය. කොහොම හරි මේකෙ නම් මට තේරුමක් තේරෙන්නෙ නෑ..

-ඒකට කමක් නෑ, ඒක සාධාරණයි. ඒකෙ තේරුම මං දැන් දන්නවා. මං ආවෙ ඒක ඔයාට කියන්නත් එක්කම තමයි.

-ඒ මොකද්ද..? ඈ අසන්නීය.

-මං divorce උනා..

ඈ දෑස අයාගත්වනම මා දෙස බලා හිඳින්නී, මොහොතකින් ඉවත බලා ගත්තාය.

            -මං marry කළා..!

*** *** ***

කථාව  එලෙසින් නිමා වන්නට ඇතැයි ඔබද සිතන්නට පිළිවන. එහෙත් ඒ ඈ විසින් ඉල්ලා සිටි අවසානයයි. දැන් මෙතැන් සිට ලියැවෙන්නේ ඔබත්, ඇයත් දැනගත යුතු සැබෑ අවසානයයි.

..............................

- ඒකත් අර ඉස්සර වගේ විකාර හීනයක්ම තමයි. ඔයා කිව්ව වගේම ඉස්සරත් ඔයා දැකපු විදියෙ ඒවා වගේ. ඈ අතීත කතා ඔස්සේ ඇවිදයන්නී ය. කොහොම හරි මේකෙ නම් මට තේරුමක් තේරෙන්නෙ නෑ..

-ඒකට කමක් නෑ, ඒක සාධාරණයි. ඒකෙ තේරුම මං දැන් දන්නවා. මං ආවෙ ඒක ඔයාට කියන්නත් එක්කම තමයි.

-ඒ මොකද්ද..? ඈ අසන්නීය.

-මං marry කළා..!

ඈ දෑස අයාගත්වනම මා දෙස බලා හිඳින්නී, මොහොතකින් ඉවත බලා ගත්තාය.

            -මමත් marry කළා..!

*** *** ***

 ප.ලි:

ඉහත කථාව නිම කිරීමෙන් පසුව මම එය ඊ ලියමනක අමුණා ඈ වෙත ද යැවීමි. ඉන්පසු මේ අරභයා ඈ හා කෙරුණු කෙටි සංවාදය, ඔබ තුළ ද වියවුලක් වේ නම් එය ලිහා දමනු වස් මෙහි සටහන් කර තබන්නෙමි.

ඇය: ඔයා ඇත්තම end එක කියල අර විදියට ලිව්වට ඒක ගැලපෙන්නෙ නෑ නේද..?

මම: ඇයි?

ඇය: අර හීනෙ හැටියට ඔයා මුද්දකින් හිරවෙනවා. අන්තිමේ ඔයා ඒකෙන් ගැලවිලාම යනවා. I mean නිදහස් වෙනවා. එහෙම නේද..?

මම: ඔව්.

ඇය: ඉතිං එහෙම අදහසකට ගැලපෙන්නෙ divorce වෙනව කියන එක නේද..?

මම: ඔව්..

ඇය: ඔව් ඔව් කියන්නෙ අනේ, එහෙනම් කොහොමද ඔයා marry කරපු එකක් ගැන කියන්නෙ?

මම: ඉතිං ඇත්තටම මම marry කළානෙ. ඒකයි.

ඇය: හරි හරි.. මම දැන් පිළිගන්නව අමාරුවෙන් හරි ඔයා ඇත්තටම marry කරපු බව.. ඒත් ඉතුරු සේරම එක්ක ගැලපෙන නිසානෙ මං divorce එකක් ගැන කිව්වෙ. ඉතිං divorce එකක් නේද ගැලපෙන්නෙ ඇහුවම ඒකට ඔයත් “ඔව්” කිව්වෙ..?

මම: මම divorce උනාට පස්සෙ තමයි marry කළේ.

ඇය: මොකක්..? ඇත්තටම divorce නුත් උනාද?? ඒ කාගෙන්ද..???

මම: ඔයාගෙන්..!

-නිමි-

-මුදිත්-
16.12.2022

සිතුවම් අයිතිය: Dibya Ruchi (අන්තර්ජාලයෙනි)


Tuesday, November 1, 2022

ඒ බීර පැහැ මොහොත...

ඉස්තරම් මධු බඳුන්
ඇසිල්ලේ හිස් වෙන,
සාද මේසයක අග
උක්කුටියෙන් හිඳී
හැන්දෑව...

බොහෝ හරසර එළි මැද ද
දෑස් පට පැටලී
රත් පැහැ ලේස් ගවොමක,
බීර පැහැ කෙහෙ කැරළි
සැඳෑවම ගිල්වයි
පෙණ නැගෙන බීර බඳුනක...

නොසන්සුන් හදවතය
සුසුමින් දැවී ගිය..
බාල සිගරැට් කොට
එකින් එක අතහැරෙයි
දඹු පිරී ගිය බඳුනට...

-මුදිත්-
26.10.2022



Monday, October 31, 2022

කැරලි

කැරලි බමර මුදු කෙහෙරැලි පියස්සේ
සරැලි රැඟුම් ලඟ ඇස් දෙක ඇවිස්සේ
පිනිති පොදකි මම තණපත් අගිස්සේ
සිඟිති කුරුළු හිත එහෙයිනි තිගැස්සේ

-මුදිත්-
30.10.2022


Image from Internet

Monday, October 24, 2022

අලුත් කවියක්

සේද සළු පට වළා අතුරා

රළු පරළු ගිරි තුඩක- මුදුනක

පෑරි පෑරී ගලන කඳුළත්

මුදා හළ යුතු පතන් බිමකට..


එයින් ඇහැරී අලුත් දළුවක්

පෙති දෙපෙති වී නැගෙන දවසට

මිටින් හළ හැකි අලුත් කවියක්

පතන් බිමකින්, ඈත අහසට...


-මුදිත්-

24.10.2022



Monday, October 17, 2022

ඒ වගේ කතා මට ආයෙ කියන්න එපා...!

පුංචි කාලේ මට තිබුණා රතුපාට ත්‍රී ක්වාට කලිසමක්. අදටත් මොන තරමක, විලාසිතාවක හරි රතු පාට කොට කලිසමක් දකින ඕනම වෙලාවක හිතේ මුල්ලක එල්ලිලා වැනෙන රතු පාට පුංචි ත්‍රී ක්වාට කලිසමක්.. ඉස්කෝලේ කාලේ මම අයිති නිවාසෙට අදාල පාට වුනේ රතුපාට. ඉතින් එකමත් එක නිවාසාන්තර තරඟ කාලෙක, එකමත් එක දවසක, එකමත් එක තරඟයක් වෙනුවෙන් තෝරගතපු සීමිත පිරිසකට මාවත් අයිති වුණා. ඒ වගේ දෙයක් හරි ලොකුවට දැනෙන වයසක් ඒක. කොහොම හරි ඊලඟ දවසේ තරඟයට සම්බන්ධ වෙන්න රතුපාට කොට කලිසමකුත් අරන් හවස් වෙනතුරු ඉස්කෝලේ රැඳෙන්න සූදානමෙන් එන විදියට උපදෙස් ලැබුණා. ඒ මොහොත වෙනතුරු ඉස්කෝලේ කිසිම බාහිර වැඩකට සම්බන්ධ වෙන්න මට ඉඩ ලැබිලා තිබුණේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වුණේ අපේ ගෙදරට ඉස්කෝලේ ඉඳලා තිබුණු දුර. පහ වසර ශිෂ්‍යත්වය වෙනතුරු ගමේ ඉස්කෝලෙට ගියපු මට, ශිෂ්‍යත්වය පාස් වෙලා ටවුන් එකේ මේ ඉස්කෝලෙට එන්න සිදුවීමත් එක්ක දවසට පැය දෙකහමාරක විතර කාලයක් පාසල් ගමන වෙනුවෙන් වෙන්කරන්න උනා. කොහොමහරි අදාල තරඟෙ වෙනුවෙන් එදා හවස අම්මලා මට රතු පාට කොට කලිසමක් අරන් දුන්නා. ඒ වගේම ඊළඟ දවසේ හැන්දෑ වෙලා මාව එක්කරන් එන්න අම්මා නිවාඩුවකුත් දාගත්තා. ඊට පස්සේ අදාල දවසේ මම ඉස්කෝලේ ගිහින් රතුපාට කලිසම ඇඳගෙන ග්‍රවුන්ඩ් එකට ගියා. අදාල තරඟෙ තියෙන සීමාවෙන් ම හිටියත් වරුවක් විතර යනතුරු කිසිම කෙනෙක් මට කතා කළේ නැහැ. අන්තිමේ මම එතන ඉදපු ලොකු පන්ති වල අයට කිව්වා ඊයේ මාව තරඟෙට තෝරගනිපු බව. half මැච් එකකින් පස්සේ ගන්නම් වගේ කතාවක් කියවුණත් ආයෙ ඒ අය මම ඉන්න පැත්තවත් බැලුවෙ නෑ. මම ඒ පැත්තට ගියත් මට බෝලෙ අල්ලන්නවත් ලැබුණෙ නෑ. අන්තිමේ කරගන්න දෙයක් නැතිව අසරණ උනු මම එතනින් හැරිලා ඇවිත් හවස් වෙනකම් නොඉඳ ස්කූල් වෑන් එකේම ගෙදර ආවා. මම ආපු බව සිකියුරිටි ගෙන් දැනගෙන අම්මත් හවස ගෙදර ආවා. ඉන් පස්සෙත් හැම අවුරුද්දකම නිවාසාන්තර තරඟ තිබුණා. විවාද තරඟ, කථික තරඟ, සිංහල භාෂා දින තරඟ වගේ වෙන වෙන අමතර තරඟත් හැම අවුරුද්දකම තිබුණා. සෑහෙන කාලයක් යන තුරුම රතුපාට පුංචි කලිසමත් අල්මාරියෙ කොණක ගුලි ගැහිලා තිබුණා. තරඟෙට නොගැනීම ගැන මට ලොකු දුකක් තිබුණෙ නෑ. ඒත් අම්මා උනු රස්තියාදුව ගැන හිතේ ලොකු බරක් තිබුණා. අදත් මං වටේ සෑහෙන තරම් තරඟ තියෙනවා. ඒ එකින් එක මග හරිමින් අදටත් මම ඈත් වෙන හැම වෙලාවකම වගේ මගේ වටේ ඉන්න අය ගොඩක් වෙලාවට එක එක කතා වලින් මාවත් ඒ සමාජයට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. ඒත් ඒ කාටත් නොපෙනෙන්න රතුපාට පුංචි කොට කලිසමක් අදටත් මගේ හිතේ කොනක ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කතා මට ආයෙ ආයෙත් කියන්න එපා කියලා මං ඉල්ලා හිටිනවා.

~~~~~

එකමත් එක කාලෙක හාවෙකුයි ඉබ්බෙකුයි අතරෙ රේස් එකක් තිබුන කියල අපිට උගන්වලා තියෙනවා. හාවා දිනනවා කියලා කැට තියලා කියන වයසක් ඒක. කොහොමහරි ඉබ්බා දිනනවා. හාවා ගේමක් නැති නිසා දිනුම් කණුව පෙනි පෙනී නින්දක් දානවා. ඉබ්බා ෆුල් ගේමෙ හිටපු එකෙක්. නිදාගෙන හිටපු හාවා පෙනි පෙනී සද්දයක් නැතුව ඌ දිනුම් කණුවටම යනවා. නිකං නෙමෙයි ඌට හෙණ ධෛර්යයක්, විශ්වාසයක් තිබුණා කියලත් අපිට උගන්නලා තියෙනවා. හෙණ ලොකු සීන් එකෙ ඉඳපු නිසා හාවට හොඳ වැඩේ වගේ එකක් අපේ ඔලු වල තිබුණා. ඒ වගේම නෑ බෑ නොකියා ගේම ගහපු ඉබ්බා ඉතින් හෙණ රෙස්පා. ඉබ්බෙක් උනත් ඉතින් ඌ වගේ වෙයන් වගේ එකක් අපේ ඔලු වල තිබුණා. කොහොම වුනත් දැන් නං කෙස් ගස් එක දෙක ඉදීගෙන එන වයස මට. දිනුම් කනුව පෙනෙද්දි, හාවා නිදාගෙන ඉන්නවා පෙනෙද්දි, මූ දැන් ඇහැරෙයි දැන් ඇහැරෙයි කියලා හිතෙද්දි, පොඩි සද්දයක් වට පිටෙන් ඇහෙද්දි ඉබ්බට ආපු tension එක, දිනුම පේනකොට එන anxiety එක මට මගේ පුංචි ලෝකෙ ඇතුලෙ හයිලයිට් වෙලා පේනවා. රතුපාට කොට කලිසම ඉස්සර තරම් බරට නොදැනුනත් හිතේ සාමය බිඳ ගෙන මේ කරන දේවල් මොකටද කියලා ඇත්තටම මට හිතෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ කතාත් මට ආය කියන්න එපා කියලා මං හරි ආදරෙන් කියනවා.

~~~~~

ඒ වගේම මේ හිතේ සැහැල්ලුව, නිස්කලංක බව තරඟ අදාල නැති තාලෙන් ගෙවෙන ජීවිතේ ගැන අහන කෙනෙකුට කිව්වත්, එතකොට ඒ පැත්තෙන් අහන ප්‍රශ්න, ගේන තර්ක මහා ගොඩක් තියෙනවා. 

"එතකොට උඹ කියන්නේ මහණ වෙන්නද?"

"අපි අකමැති වුනත් තරගය අපිව ගේමට අරං ඉවරයි බං" 

බ්ලා බ්ලා බ්ලා... අන්න ඒ ගැන හිතනකොට කොක්කු දෙන්නා එක්ක ආතල් එකේ උඩිං යන අතරේ කට ඇරලා නැහිච්ච ඉබ්බගේ කතාව මට මතක් වෙනවා. ඒ නිසා කොච්චර කොහොම වුණත් තරඟ ගැන, තරඟෙ ගැන තර්ක විතර්ක වගේ මඟුල් වුණත් මට ආයෙ කියන්න එපා කියලා මං හරිම ආදරෙන් කියනවා.



-මුදිත්-
17.10.2022