එක එක හැඩෙන් කියවන්න

Friday, January 3, 2020

ඕපපාතික කුරුල්ලා

සුපෝෂිත ජල තලය විදගෙන
මජර පල් ගඳ පොකුණු දිය පිට
එක් ඇඟිල්ලක් ඉහළ ඔසවා,
නැගුනි ඉඳුවර නටුව
පුරා කල්පයකට පසුව...

නොගැටෙන ලෙස කුණක් කිලුටක්
කෙළෙස් අතකින් ඉඳුලක්
පැතුමකි සිතෙහි පොපියන,
මත්ස්‍ය පිරිවර වෙනුවෙන්
පූදනු පිණිස පියුමක්...

කොහෙන්දෝ ආ කුරුල්ලා
මස බුදින පිළිහුඩුවා
අරක් ගත්තේ පියුම් හිස,
එකක් නෑරම ගිලියි කුඩමසු
විලෝපී තුඩගෙහි අමුණා...

-මුදිත්-
2019.12.30


මල් නෙළන මල්

"මල් කියන්නෙ කාට කාට
ළමයින්ටයි පාට පාට"
මං කියන්නෙ කාට කාට
මලක් නේද කහට පාට?

ඇත්තටම සිංදුවේ හැටියට
මායි - අක්කයි, අපිත් පොඩි මල්
පුංචි වෙනසක් තියෙනවා මිස්
පොඩි වුනත් අපි මල් නෙලන මල්...

වනේ පිපුනත් මඩේ පිපුනත්
මල් කියන්නේ මල් තමයි මිස්,
ඒ වුණත් බුදු සාදු පාමුල
නොතියනා පොඩි මලක් මං, මිස්...

නෙලුම් කහටත් - ඕලු කහටත්
වෙන වෙනම සුදු ගවුමෙ ඉහුණත්
ඇඟට ඇඳලා බලන ජාමෙට
පේන්නෙම මට එකම පාටක්...

මගේ වැඩ පොත
ඔව් අදත් හිස්
දන්නවද, ගුරු මේසෙ උඩ ඔය
තියෙන්නේ මං නෙළුව මල්, මිස්...

වනේ මැද්දේ විසල් මහ ගස්
යටින් පිපෙනව පොඩි කැලෑ මල්
වැස්ස ඩිංගක් අහක බැලුවම
ඉස්සරින් මැළවෙන්නෙ ඒ මල්...

හෙටත් එන්නම් මලක් අරගෙන
නැති වුනොත් ගුරු මේසෙ හරි හිස්,
ගෙදර වැඩ ටික හෙටත් බැරි වෙයි
තරහ ගන්නට එපා ලොකු මිස්,

කොච්චරක් තැලුවත් කමක් නැහැ
විසි කරන්නට එපා පොත, මිස්...

-මුදිත්-
2019.12.30

Diego Rivera - The Flower vendor (Girl with Lilies)

Monday, October 28, 2019

විසිර ගිය සිහිනමය තටු අතර...

නොකල් වැස්සෙන් පිබිද
විකල් හද තානය,
දිග හරියි තටු- හැඟුම් මල් පෙති...

දෑස මත්තෙහි වැතිර
විසල් ආකාශය,
මත් කරයි නෙත
තරු සැනෙළි එළි...

ඇසට ඇන - අත වනන
උකුම උකු ආලෝක රැළි,
මව මවා තුඟු තිසර තුඩු
අවුළුවයි,
සියොළඟෙහි ගිණි..

දිගැර ලා පියපත්
ඉගිල ගිය ඉක්බිති,
කැලැත්තෙන ආලෝක සුළියෙක
නිලංකාර ම සිහිනෙකි...
... ... ... ... ... ... ... ... ... ... ... ... ...

රැය පුරා - හඬ තලා
මග කියූ රැහැසියනි,
තොපට තුති..
ඒ නමුත් - හෙට යලිත්,
පහන් කණු මුල බොහෝ
අලුත්
මළ සිරුරු ඇති...

-මුදිත්-
28.10.2019



Wednesday, October 2, 2019

මේ තමයි මං දන්න ප්‍රේමය...

තෙහෙට්ටුව මුදා හැර
ඉඩ දෙන්න ඔය මුහුලට,
පැටැලෙන්න මේ හුළඟට..
වූලකට අවනතව
ඉන්න ඇහැකිද දවසම..?

අරන් ආ හැම බර ම
තියා මොහොතකට බිම,
දෑත් විහිදන්න අහසට..
ඇස් පියා මොහොතකට
එන්න, විඳගමු මේ සැහැල්ලුව...

දෑත දෑතින් අරන්
කැරකෙමුද රවුමක්
එකතැන තියා ලෝකය..?
මේ නිසල වෙරළ ම
ලෝකයක් වෙයි එතකොට...

ඔය දෙපා පොඩි තියා
ඇවිදින්න මේ රළ මත,
අඳුරුතම සි‍ඳු පතුළ- මවන සුදු මුදු මදහස..
දන්නවද මේ සිනහ පෙණ පිඬ
ඇත්තට ම, ඒ තමයි ප්‍රේමය...

-මුදිත්-
2019.10.02


Wednesday, August 14, 2019

අමුතු දූපතේ අපි එක්ක උඹ..

බාරයක් ඔප්පු කිරීම සඳහා, අයහපත් සෞඛ්‍ය තත්වයේ සිටි වියපත් ඇතින්නක් දළදා පෙරහැරේ ගමන් කරවයි.

                                             - තවත් එක් සිදුවීමක් -


දරා නැගි කොපුල් පිට පුපුරු ලන වේදනා ගලනා
පුරා නැති පෙරුම් දම් පුරන්නට සසර සැරිසරනා
මරා ගනු බැරි සිතින් පුරුද්දට කොදෙව්වට එබෙනා
සරා සඳ මුදුන් වින නිකිණි අහසට කඳුළු පුරනා

කුලේ මුත් සද්දන්ත, අනේ නුඹ නිස්සද්ද?
පින් කුසල් පුරන්නට ඉතින් මෙහි ආවාද?
කල් බලා පුරන්නට පිළිවෙතක් තිබුනාද?
අනේ දුක දකින්නට බුදු නෙතක් නැතිවාද?

ඉපල් දර අතු මතට එලුව සේ කඩ රෙද්ද
සැකිල්ලකි වේදනා දරාගෙන නිස්සද්ද
නිසොල්මන් කඳුළු බර කොතරම්ද ළය මැද්ද
විකල් වද මිනිසුනේ දකින්නට දුක නැද්ද?

සාධුජන හඬ නැගී සරුප බිත්තර බිඳුන
සරා සඳ හිරි වැටී නිකිණි අහසින් වැටුන
දරා ගනු බැරි සයෙන් පිරිත් පැන් කළ සිඳුණ
උරා ගත් මෙත් බෙලෙන්, කොදෙව්වකි උණ ගැණුන

දණ නමා බැති සිතින් ඉහළ මාලය වඳින
පින පතා තරඟයට කුසල් පිලිවෙත් පුරන
මැන බලනු බැරි තරම් දහම් බණ පද අසන
උණ ගැනුනු මහ සෙනග පතයි නුඹටත් නිවන


-මුදිත්-
2019.08.14