එක එක හැඩෙන් කියවන්න

Monday, October 28, 2019

විසිර ගිය සිහිනමය තටු අතර...

නොකල් වැස්සෙන් පිබිද
විකල් හද තානය,
දිග හරියි තටු- හැඟුම් මල් පෙති...

දෑස මත්තෙහි වැතිර
විසල් ආකාශය,
මත් කරයි නෙත
තරු සැනෙළි එළි...

ඇසට ඇන - අත වනන
උකුම උකු ආලෝක රැළි,
මව මවා තුඟු තිසර තුඩු
අවුළුවයි,
සියොළඟෙහි ගිණි..

දිගැර ලා පියපත්
ඉගිල ගිය ඉක්බිති,
කැලැත්තෙන ආලෝක සුළියෙක
නිලංකාර ම සිහිනෙකි...
... ... ... ... ... ... ... ... ... ... ... ... ...

රැය පුරා - හඬ තලා
මග කියූ රැහැසියනි,
තොපට තුති..
ඒ නමුත් - හෙට යලිත්,
පහන් කණු මුල බොහෝ
අලුත්
මළ සිරුරු ඇති...

-මුදිත්-
28.10.2019



Wednesday, October 2, 2019

මේ තමයි මං දන්න ප්‍රේමය...

තෙහෙට්ටුව මුදා හැර
ඉඩ දෙන්න ඔය මුහුලට,
පැටැලෙන්න මේ හුළඟට..
වූලකට අවනතව
ඉන්න ඇහැකිද දවසම..?

අරන් ආ හැම බර ම
තියා මොහොතකට බිම,
දෑත් විහිදන්න අහසට..
ඇස් පියා මොහොතකට
එන්න, විඳගමු මේ සැහැල්ලුව...

දෑත දෑතින් අරන්
කැරකෙමුද රවුමක්
එකතැන තියා ලෝකය..?
මේ නිසල වෙරළ ම
ලෝකයක් වෙයි එතකොට...

ඔය දෙපා පොඩි තියා
ඇවිදින්න මේ රළ මත,
අඳුරුතම සි‍ඳු පතුළ- මවන සුදු මුදු මදහස..
දන්නවද මේ සිනහ පෙණ පිඬ
ඇත්තට ම, ඒ තමයි ප්‍රේමය...

-මුදිත්-
2019.10.02


Wednesday, August 14, 2019

අමුතු දූපතේ අපි එක්ක උඹ..

බාරයක් ඔප්පු කිරීම සඳහා, අයහපත් සෞඛ්‍ය තත්වයේ සිටි වියපත් ඇතින්නක් දළදා පෙරහැරේ ගමන් කරවයි.

                                             - තවත් එක් සිදුවීමක් -


දරා නැගි කොපුල් පිට පුපුරු ලන වේදනා ගලනා
පුරා නැති පෙරුම් දම් පුරන්නට සසර සැරිසරනා
මරා ගනු බැරි සිතින් පුරුද්දට කොදෙව්වට එබෙනා
සරා සඳ මුදුන් වින නිකිණි අහසට කඳුළු පුරනා

කුලේ මුත් සද්දන්ත, අනේ නුඹ නිස්සද්ද?
පින් කුසල් පුරන්නට ඉතින් මෙහි ආවාද?
කල් බලා පුරන්නට පිළිවෙතක් තිබුනාද?
අනේ දුක දකින්නට බුදු නෙතක් නැතිවාද?

ඉපල් දර අතු මතට එලුව සේ කඩ රෙද්ද
සැකිල්ලකි වේදනා දරාගෙන නිස්සද්ද
නිසොල්මන් කඳුළු බර කොතරම්ද ළය මැද්ද
විකල් වද මිනිසුනේ දකින්නට දුක නැද්ද?

සාධුජන හඬ නැගී සරුප බිත්තර බිඳුන
සරා සඳ හිරි වැටී නිකිණි අහසින් වැටුන
දරා ගනු බැරි සයෙන් පිරිත් පැන් කළ සිඳුණ
උරා ගත් මෙත් බෙලෙන්, කොදෙව්වකි උණ ගැණුන

දණ නමා බැති සිතින් ඉහළ මාලය වඳින
පින පතා තරඟයට කුසල් පිලිවෙත් පුරන
මැන බලනු බැරි තරම් දහම් බණ පද අසන
උණ ගැනුනු මහ සෙනග පතයි නුඹටත් නිවන


-මුදිත්-
2019.08.14


Friday, July 5, 2019

ප්‍රේමණීය දුම්වැටිය...

ඔබ දැවි දැවී
මා නිවන..
ඔබ නිවි නිවී
මා දවන...

-මුදිත්-
2019.07.01





Friday, June 21, 2019

නටුවකින් තව මලක් ගිලිහුණි...

මන්දපෝෂණය හේතුවෙන් තිස්සමහාරාම, රාජපුර ප්‍රදේශයේ මාස 11ක් වයසැති බිළිඳෙක් මියයයි.
                                                                                            -පුවතක්-


නටුවකින් තව මලක් ගිලිහුණි..
පෙත්තක් පළමුවෙන්,
එකක් පසු තව එකක්,
හෙමි හෙමිනි - පිළිවෙළිනි...

දළු ලන - පඳුරු ලන
අන්ධකාරමය හෝරා මැද ද
හෝරා කටු නොනැවතී කැරකුණි..
හිතවත,
වෙඩි බෙහෙත් දුම් මැදත්
ලේ පිළී ගඳ මැදත්
සිංහ ගෙරැවිලි මැදත්
බිඳ බිඳ දුක උරා බී ගෙන
මළානික නටු අග
ඒ වුණත් කිරිකැටි මල් පිපුණි...

කුමන අඳුරක පිපුණත්,
කුමන නටුවක පිපුණත්..
මලක් නම් කිරිකැටි,
දෙ අත් බැඳ වටකොට
රැකගත යුතු නොවෙද මිනිසුනි...?

අන්ධකාරය අරගෙන
සළ මිනිස් රූ ඇවිදින
මූකලන්බත් කොදෙව්වේ,
දහස් නොව දස දහස්
රැඟුම් - සංවාද මැද
රැය ඔහේ දිගු වුනා පමණකි...

ඒ දහස් සංඛ්‍යාත
කථා - සංවාද මැද
මගහැරුනු බොහෝ දේ විණි..
පෙත්තෙන් පෙත්ත ගිලිහුණු
ඒ මලෙහි වැලපුම
ඉන් එකක් පමණකි මිනිසුනි...

-මුදිත්-
2019.06.21



පසු සටහන:
සිව් දෙනෙකුගෙන් යුත් පවුලක, ලාබාලතමයා වන ඉහත එකොළොස් මස් වයස් බිළිඳා මිය යන්නේ මන්දපෝෂණයෙනි. ඉදින්, සාඩම්බර ඉතිහාසය කෙසේ වර නැගුවත්, මේ මොහොත ගෙවා දමමින් සිටින අප හුදෙක් ම ළපැටියෙකුට කන්ට බත් දෙකටක් දිය නොහැකි රටක් - ජාතියක් පමණක් ම බව ශපථ කරමින් පවතී.

(එමෙන්ම පසුගිය තෙමසක කාලය තුල ඉතා ප්‍රබලව සිංහල බෞද්ධ ජන සමාජය තුල නැගී ආ "සිංහල දරුවන් වැඩියෙන් වදාපල්ලා" යන කරුණද , එසේ හඬ නැංවූ ව්‍යාපාර අද කොහිද යන්නද  විලිලජ්ජා වරහන් තුළ බහා හෝ යලි සිහිපත් කල යුතුව ඇත.)