එක එක හැඩෙන් කියවන්න

Tuesday, April 25, 2017

සොඳුරිය...

බඳෙහි තැන තැන වණවී
පියාපත් එක එක ගිලිහී
හැලී, විසිරී ගිය දාක..
අහසක චමත්කාරය,
සුළඟක් සුසුම්ලන රාවය,
එදවස- පියහඹා ගිය දිනවල
ආකාස උයනෙහි මතක..
සොඳුරිය,
යළි යළිත් නො අසන්න...

කිරි කහට සංවාද වල
කෝපි රහ හැන්දෑ වල
නොදන්වා උදා වූ
'සන්ධ්‍යාව' නම් මොහොතක,
රංචුවම එක යායට
පියහඹාගෙන එනකොට..
මා දිහා හොරැහින් නොබලන්න...
පෙඳ සිඳුණු තටු අතගා
රිදෙනවාදැයි නො අසන්න...

                                              -මුදිත්-
                                        2017.04.25


*සිතුවම: Nostalgia by Dan Bunea

Saturday, April 22, 2017

මිහිරියෙ නුඹ ද පායා එන සඳ පාන...

ඇහැරියෙ නැති වුණත් කඩුපුල් මල් යාන
අසිරියෙ නැහැ නොවෙද අඩුවක් රැය ගේන
සිසිරයෙ මීවිතක් මෙන් හිත පිරිමදින
මිහිරියෙ නුඹ ද පායා එන සඳ පාන

                                                   -මුදිත්-
                                           2017.08.04

ප්‍රේමය දිය දහරක් ව පැවතින...

මලින් මල් ගැවසී ගිය
අතින් අත් පැටලී ගිය
හරිත උද්‍යානයේ ඉපැදී,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

උඩු ගං බලා පිහිනා ගිය
මත්ස්‍ය, දියකා පිරිවර ද..
ඔහේ පහලට ගලා ගිය
වියැළිව හැලුණු තුරුපත් ද, මල් පෙති ද..
මුහුලසෙහි ගවසාගෙන,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොදන්වා සපැමිණි ග්‍රීස්මෙක
"නවතිනු" යි කී විට ඉඩෝරය
ඔච්චමට සිනා සී
නොනැවතී ගලා ගිය,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොනැවතී සිඳු තෙක් පැමිණ
සිනහ සී අතිනත් බැඳි දාක
කරදියෙහි ගිලී
මිය යන තුරු ම
ඔව්..!
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

                                            -මුදිත්-
                                     2017.04.08

Sunday, February 12, 2017

ඒ තමයි මගෙ සෙනෙහස...

නුඹ සඳ ව
ගලා එයි පාතට,
තෙම තෙමා තනි යහනත..
දෝතට ගනිමි සඳ වතුර
දැන දැන ම
හලාහල විෂ බව...

සඳ එළිය
කොපුළතෙහි තවරන
හැම හාදුවම කෙළවර..
කඳුළකි,
ඇහි පියන'තර සිරවෙන..
ගලා එන්නට නියමිත...

ඒ තමයි මගෙ සෙනෙහස...
                                                -මුදිත්-
                                        2017.02.12

Saturday, January 28, 2017

සරෝජා..

මහ වැසි වැටෙයි නුවරට..
සරෝජා,
නුඹ අවුත් වැස්සක්ව
හෙමිහිට
ඇද වැටෙයි
හිත් පෙති මත...

කඩුපුල් ය, රෑ කුමාරි ය
රැයක පිපි වන මල් ය,
නුවරින් ගව් ගණන් ඈතට
දිව ගිය පළමු වැනි පාඩම...

"වනක්කම් ආසිරියර්"
නන්නාඳුනන අකුරුය..
ඒ වුණත්
උණුහුම් ම වචන ය...

එකෝමත් මහ රෑක
ආනා, ආවන්නා
ඊනා, ඊයන්නා
එකට ලිව් ලොකු අකුරු
හෝඩියම විසුරුවා ගෙන
මහා පිපුරුමෙන් පසු,
යළිත් දළු දැම්මා
විශ්වය..

ඒ වුණත්
ඇස් පොඩි අතර හිස්තැන
සරෝජා,
නුඹේ පොඩි ඇස් දෙක...

කැටයම් කැපුව හැක කඳුලක
ඇවැසි නම් රැකගන්නට
සමරුවක් ලෙස සදහට..
ඒ වුණත් කඳුළු වත් නොහලාම
නුඹ සැඟව ගොස් තිබුණා
තිත්ත ම තිත්ත කළු කුහරෙක...
                                              -මුදිත්-
                                      2017.01.29