එක එක හැඩෙන් කියවන්න

Saturday, April 22, 2017

මිහිරියෙ නුඹ ද පායා එන සඳ පාන...

ඇහැරියෙ නැති වුණත් කඩුපුල් මල් යාන
අසිරියෙ නැහැ නොවෙද අඩුවක් රැය ගේන
සිසිරයෙ මීවිතක් මෙන් හිත පිරිමදින
මිහිරියෙ නුඹ ද පායා එන සඳ පාන

                                                   -මුදිත්-
                                           2017.08.04

ප්‍රේමය දිය දහරක් ව පැවතින...

මලින් මල් ගැවසී ගිය
අතින් අත් පැටලී ගිය
හරිත උද්‍යානයේ ඉපැදී,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

උඩු ගං බලා පිහිනා ගිය
මත්ස්‍ය, දියකා පිරිවර ද..
ඔහේ පහලට ගලා ගිය
වියැළිව හැලුණු තුරුපත් ද, මල් පෙති ද..
මුහුලසෙහි ගවසාගෙන,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොදන්වා සපැමිණි ග්‍රීස්මෙක
"නවතිනු" යි කී විට ඉඩෝරය
ඔච්චමට සිනා සී
නොනැවතී ගලා ගිය,
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

නොනැවතී සිඳු තෙක් පැමිණ
සිනහ සී අතිනත් බැඳි දාක
කරදියෙහි ගිලී
මිය යන තුරු ම
ඔව්..!
ප්‍රේමය
දිය දහරක් ව පැවතින...

                                            -මුදිත්-
                                     2017.04.08

Sunday, February 12, 2017

ඒ තමයි මගෙ සෙනෙහස...

නුඹ සඳ ව
ගලා එයි පාතට,
තෙම තෙමා තනි යහනත..
දෝතට ගනිමි සඳ වතුර
දැන දැන ම
හලාහල විෂ බව...

සඳ එළිය
කොපුළතෙහි තවරන
හැම හාදුවම කෙළවර..
කඳුළකි,
ඇහි පියන'තර සිරවෙන..
ගලා එන්නට නියමිත...

ඒ තමයි මගෙ සෙනෙහස...
                                                -මුදිත්-
                                        2017.02.12

Saturday, January 28, 2017

සරෝජා..

මහ වැසි වැටෙයි නුවරට..
සරෝජා,
නුඹ අවුත් වැස්සක්ව
හෙමිහිට
ඇද වැටෙයි
හිත් පෙති මත...

කඩුපුල් ය, රෑ කුමාරි ය
රැයක පිපි වන මල් ය,
නුවරින් ගව් ගණන් ඈතට
දිව ගිය පළමු වැනි පාඩම...

"වනක්කම් ආසිරියර්"
නන්නාඳුනන අකුරුය..
ඒ වුණත්
උණුහුම් ම වචන ය...

එකෝමත් මහ රෑක
ආනා, ආවන්නා
ඊනා, ඊයන්නා
එකට ලිව් ලොකු අකුරු
හෝඩියම විසුරුවා ගෙන
මහා පිපුරුමෙන් පසු,
යළිත් දළු දැම්මා
විශ්වය..

ඒ වුණත්
ඇස් පොඩි අතර හිස්තැන
සරෝජා,
නුඹේ පොඩි ඇස් දෙක...

කැටයම් කැපුව හැක කඳුලක
ඇවැසි නම් රැකගන්නට
සමරුවක් ලෙස සදහට..
ඒ වුණත් කඳුළු වත් නොහලාම
නුඹ සැඟව ගොස් තිබුණා
තිත්ත ම තිත්ත කළු කුහරෙක...
                                              -මුදිත්-
                                      2017.01.29

Sunday, November 20, 2016

ඔබ ගිය පසු...

පෙරදා සිරිතට ම මළ හිරු බසියි ඔහේ
මතකය අවදිවෙයි - සුපුරුදු හැඟුම් ලිහේ
නුඹගෙන් සොරාගත් සුමධුර ස්වරය මෙහේ
ඇළ, දොළ, මඳ නළක සැන්දෑ කලෙක ඇහේ

                                                                      -මුදිත්-
                                                              2016.11.11