ඇහැරවන් නෙත් පියන් හීතලේ,
බිලිඳු පුතු තුරුලු කර- නිදන නුඹෙ නළල මත,
තියා මුදු හාදුවක්, ආවේම පාලුවේ,
ජීවිතේ ගැට ගසන්නට මිස,
අභිනික්මනක් නම් නොවේ...
පන තියූ එන්ජිමට හුරු පුරුදු බස් රියේ,
පුරුදු සුක්කානමත්, අද වෙනද වගෙ නොවේ,
නුපුරුදුම තිගැස්මක් ඇඳුනාට හිත් කොනේ,
අදත් වැඩ ඇරඹුවා බස් රියේ ජීවිතේ...
වංගුවෙන් වංගුව හෙමින් පහු වෙද්දී,
කඳු මුදුන් වසාගෙන මීදුමත් රැස් වෙච්චී,
අපෙ පුංචි කූඩුවේ හෙට දවස වසාගෙන,
මාරයා උන්නාද කඳු අතරෙ හැංගී...
ගන්නකොට වංගුවක් ජීවිතේ,
ලිස්සුවා දෛවයත් මාවතේ,
හිතන්නට වත් ඉඩක් නොතියා,
හීතලම කඳු අතරෙ හැංගුනා ජීවිතේ...
හුස්ම තද වෙනකොටත්,
අපෙ පුංචි කැදැල්ලේ-
උණුහුම විතරමයි,
දැනුනේම හීතල මැද්දේ...
-මුදිත්-
2014.09.30
No comments:
Post a Comment