එක එක හැඩෙන් කියවන්න

Saturday, March 28, 2015

ගඟ තවම ගලනවා එ තැනම....

වස්සාන සමයෙක -  තවත් සවසක,
නුඹ එතැන - මම එතැන
එකම තැන හිඳි
මතකද එ'ගං වෙරළ..
පයට  පෑගුණ වැලි කැටවල පවා,
තිබුණු සුන්දර සිහිල
මතකද තවම...

එක් නියං සමයෙක
මම එතැන- නුඹ මෙතැන,
හිතේ පිපිරූ පැල්මකින් වෙන්ව
දෙතැනක හිඳ
පා කෙරූ නෝක්කාඩු මතකද..
ගඟ උන්නා එතැනම,
පිපිරූ දෙතොල් අග- විස්මයක් සිර කර...

අද- බෝ කලකට පසුව
මම මෙතැන- නුඹ ඔතැන,
වෙන වෙනම ජීවිත දෙකක...

කාලයේ සැත් තුඩෙන්
කපා ලූ තැන් අතැ'ර
ගලප ගන්නට නොහැකි මුත් අපව,
සිඳි සිඳී- පිරි පිරී
එ'ගඟ තවමත්
ගලනවා එතැන ම...

                                                          -මුදිත්-
                                                      2015.03.29

වසන්තය විතරද සුන්දර...

සර නැගූ තුරුපත්,
බිම පුරා ඔබ මොබ දුවන
ශරත් සෘතුවෙත් අග කෙලවර..
දෑස් වියපත් වන්ට පෙර
නුඹ එන්න...

ධූලි අරගල මැද
ගෙවී ගිය ගිම්හානය,
ඇස් රතු කලා විතරයි
පුපුරු ලන වැලි කැට,
ඉතිරි වුන මොකවත්ම නෑ හිත,
බලාපොරොත්තුව හැර...

වසන්තය නම් සිහිනයක් විතරමයි,
අපට අත වනා ගෙවීගිය...

හෙට අනිද්දා එන,
ශීත සෘතුව මැද එන්න..
මේ පුංචි කුටියේ උණුහුමට
කෝපි උගුරක දිය කරමු
මෙතෙක් තනිවම ගෙවා ආ දුර..
ආදරය විතරක්ම ශේෂ කර,
බලා ඉමු උනුන් දෙස නිහඬවම..
කොපුල් තැවරෙන ශීත සුලඟෙන් අහමු,
වසන්තය විතරද සුන්දර....

                                                          -මුදිත්-
                                                      2015.03.28

Tuesday, March 17, 2015

ධීවරී ගීයක් වන්නට....

එන එන හැම රළට ළය දී,
ඩා බිඳු වෙරලතක තැවරුණ..
රිදුම් දින දින ලියලන,
රළු- සියුම් හැම තැන් සීරුණ..
හීන නම් තව මොනවද,
ජීවිතෙත් වැල්ලට වැලලුණ..
දියඹ, මේ සෝ ලාපය,
ධීවරී ගීයද ගොලුවුණ...

තළු මරන සලෙලුන්ට ගිලගන්න,
නැති බැරි කමම රහවුණු..
පැටි විය, මැදි විය, තුරුණු විය,
ඇඟ මස මුහුදටම දියවුණු..
මිදුණු කඳුලින් හඬන,
දරුවන් ඇකේ ලූ මව්වරු..
දෙවියනි, මේ සටන කෙලවර,
සාමදානෙන් සතපනු...

 -මුදිත්-
 2015.03.16

Saturday, March 14, 2015

නෝක්කාඩු...

ඉර ඉරා වළාකුළු,
වැටි වැටී මහ වැසි..
තෙම තෙමා මහ පොළොව,
හඬ හඬා ගලන හැටි...

-මුදිත්-
2015.03.14


Friday, March 13, 2015

සුළගේ යැවූ කවියක්....

කාගෙ කාගෙත් පපු තුලට වැද,
නොකී නොලියූ දහක් දුක් ගෙන,
පටලවාගෙන බරැති සුසුමක,
සුළං රැළි වෙති පාවෙලා එන...

තනිව තොලගෑ මීවිතක් ලඟ,
නිහඬ සිතුවිලි දොඩන මොහොතක,
පාවෙනා අර සුළං රැළි අග,
අහන්නට මහ ගොඩක් කවි ඇත...

 -මුදිත්-
 2015.03.13