එක එක හැඩෙන් කියවන්න

Saturday, June 20, 2015

අවසානයට පසු....?

ඉදින් අවසන,

බිඳී ගිය වීදුරුවක
කටු කැබලි මත වුව,
තැවරී තිබිය හැක මීවිත..

වියළිව ගිය මලෙක වුව
සුවඳක් ඉතිරි විය හැක,
සීරුවෙන් බැලූ තැන හමුවෙන..

ඉපැරණිම හාදුවක වුව
කැළලක් තිබිය හැක,
නළලතක නොව හදවතක..

දැවූ කඩදහියක වුව
අකුරක් ඉතිරි විය හැක,
දිගුව යා හැකි, අතීතය වෙත..

ඉදින්, මේ අවසානය
නැවතුම් තිතක් වෙද,
කොමාවක් මිස..

හෙටත් තව පිටුවක්
නොලියැවේ මැයි,
කිව හැකිද නුඹට, මට...

                                   -මුදිත්-

Thursday, June 4, 2015

මල් ගස...

ඒ ඉඩෝරය අහවරද
වැසි වැටේවිද තව නැතිද
පහු කරන් යන වැහි වළාවක් ගානේ
දෙගිඩියාවක මල් ගස..

පරාගණ දොර ලඟ හිඳින
සිනිඳු සමනළ තටු ගණින
රේණු විහිදුනු මල් දරා අත
දෙගිඩියාවක මල් ගස..

"පරාගණයෙන් පස්සේ
ළපටි ඵල දරා අතු අස්සේ
අමුණලා පොඩි කුරුළු තුඩකට
යැවිය යුතු වැහි වහින බිමකට.."
............

කේඬෑරි අතු මිය යද්දී
මියෑදුණ පත් ගිලිහෙද්දී
දරා අවසන් මල් පොකුර ළැම
නිහඬ සටනක මල් ගස...
                                    -මුදිත්-
                                2015.05.26

දෙවිවරුන් හිඳීවිද මලින් පිරි පුදසුනක...

වැටි පිටින් පළතුරුත් ගොඩ ගසා පුදසුනක
කහවණුත් පඬුරු ලා දෑත් බැඳ නළලතක
යාදිනිත් ගය ගයා ගුමු හඬින සවනතක
උවැසියන් පොදි ගැසී ලඟ නිවන් යනු පිණිස...

හෙටක් නොව බත් කටක් යදින පොඩි ඇස් දෙකක
මිදුණු ලුණු කඳුලකට උණු නොවෙන පපු ගැබක
රුපියලක් විසි කරන අත් දෙකක් නැති බිමක
දෙවිවරුන් හිඳීවිද මලින් පිරි පුදසුනක...

පුදසුනක පුදන්නට ගෙනෙන රස මසවුලට
ගිනිගැහෙන හිස් කුසක් නිවන්නට හැකි දාක
නිකැළැල්ම පුදසුනක් තනාගෙන හදවතක
මිනිස්කම වපුරපන් මියෑදෙන පින් බිමක...

                                                    -මුදිත්-
                                             2015.06.13


රස්තියාදුකාරයාගේ වෙසක්...

වෙස් මූණු දාගෙන
යන්ට බැරි නිසා පන්සල්..

වෙස් මූණ දාගෙන..
කහටක් නැතිව..

පන්සල් ආව
කාටත් දුන්නා දන්සල්....

                                    -මුදිත්-
                                2015.05.04

වැඩ මුර....

වැඩ මුරය අහවරව
ඉර රැස් සේනාව
ක්ෂිතිජය තෙක් ඇවිද
ක්ෂිතිජය කෙලවරින් පැන යති,
බෝඩිමට, ගෙදරට...

දිගම දිග දහවලක කෙලවර
සඳ රැස් කැකුළියන්
ක්ෂිතිජය කෙලවරින් මතුවෙයි
නිවසින් වැඩපළට,
රෑ වැඩ මුරයට...

ක්ෂිතිජය කෙළවරදි හමුවී
විඩාබර ඉරු රැසක්
තබයි,
සඳ රැස් කැකුළියක නලළත,
දවසේ එකම හාදුව...

                                    -මුදිත්-
                                2015.04.29