එක එක හැඩෙන් කියවන්න

Friday, September 19, 2014

නුඹ දන්නවානම්...

හිත පුරා ඇවිදන් යන සුසුම්,
කතා කෙරුවා නම්..
නුඹ දකීවී මතකයෙ යවුල්,
හිත සිදුරු කල තරමක්...

සඳ තාරුකා දෝතින් අරන්,
මහ රැයක් ගෙට වැඩියත්..
කළු වළාකුලකින් ඒ රැයේ,
සිරි වසා යනවා නම්...
හිත දවාගෙන එන- මේ සුසුම් බර,
නුඹ දන්නවා නම්...

අරුණෝදයක් අරගෙන අතින්,
හිරු උදාවෙයි හෙටටත්..
කාටත්ම රහසින් ඇවිත්,
නුඹ ඉන්නවානම්...
නින්ද නැති රැය දිගු තරම්,
නුඹ දන්නවා නම්...

 -මුදිත්-
 2014.09.19

Thursday, September 18, 2014

අම්මෙ නුඹ විතරමයි හිටියේ, ජීවිතේ වාලුකාවේ...

අම්මෙ නුඹ විතරමයි හිටියේ, ජීවිතේ වාලුකාවේ...
________________________________

 වැහි පොදක් ඇති කෙම් බිමක් නැති,
 ඉරි තැලුණු පොළොවේ..
 වැටි වැටී පා නගද්දී මා,
 අම්මෙ නුඹ විතරමයි හිටියේ,
 ජීවිතේ වාලුකාවේ...

 වසන්තය ආවා ගියා,
 වස්සානයත් ආවා ගියා,
 දිගම දිග ගිම්හානයක,
 මා තනි වෙලා උන්නා..
 අම්මෙ නුඹ මහ රුකක් වී,
 මට හෙවන දුන්නා...

 නුඹෙ උණුහුමෙන් ඈතට වෙලා,
 දින සති ගනන් ගෙවුනා..
 නුඹෙ සෙනේ සිහිලස සිහිවෙලා,
 හිත ගල් වෙලා උන්නා..
 සිහිනයෙන් වත් මා තනි නොකර,
 නුඹ මා ලඟම උන්නා...

 -මුදිත්-
 2014.09.18

Monday, September 8, 2014

වීදි දරුවකුගේ දෑසට එබුනෙමි...

වැහි අඳුර හරි නපුරුයි,
 දවාලත් දිග රැයක් වාගෙයි..
 ඉරුණු අත් තටු කකියයි,
 ඉගිලෙන්න අහසක් නෑමයි...

 බැරිකමට අත පෑවත්,
 මහත්තුරුනගෙ ඇස් හරිම නපුරුයි..
 කුණු කූඩ වල හෙව්වත්,
 ජීවිතේ නම් තව හමුවුනේ නෑමයි...

 අම්මෙ නුඹ මග නැවතුනා,
 තරහවක් නම් නෑමයි..
 නිල්වලා ගඟ සීතලද,
 මටත් එන්නට ආසයි...

 මල්ලි නිතරම අඬනවා,
 මගෙ පපුව පිච්චෙන්න වාගෙයි..
 ලොකු නංගි අඬනකොට,
 අම්මෙ නුඹ අඬනවා වාගෙයි...

 අම්මෙ නුඹ ගිය දා ඉඳන්,
 මුලු ලෝකේම හරි නපුරුයි..
 නිල්වලා ගඟ සීතලද,
 කට්ටියම එක්කලා- නුඹෙ තුරුල්ලට එන්න ආසයි...

 -මුදිත්-
 2014.09.09

Sunday, September 7, 2014

මේ හිතුවක්කාර අකුරු, පහුගිය ගෙවුණු රැය වෙනුවෙන්...

වෙනදාට කලියෙන්,
කලුවර බෝ වෙච්ච දවසක..
 සඳ මතත් කඳුලු බිඳු තිබුණා,
 රෑ මැදියමේ තැවරිච්ච...

 සඳ සාවියක් ඉකි බිඳී,
 සඳේ අඳුරුම මුල්ලක..
 අවාරෙට, මේ අහස යට,
 හෙට අමාවක හින්දම...

-මුදිත්-

Friday, September 5, 2014

අප්පච්චී...

දවස් කීපෙකට කලින් ගමේ හිතවත් නැන්ද කෙනෙක් මුන ගැහුනා, පුංචි දුවත් එක්ක... අහන්න ලැබුනෙ ගොඩක් සංවේදී කතාවක්. "පුතේ, මාමා ලෙඩ උනා. මේ මාමව බලන්න නංගිත් එක්ක ඉස්පිරිතාලෙ යන ගමන්."... ලෙඩේ තවම හොයාගෙන නැතිලු.. කීප දවසකට පස්සෙ මම අම්මත් එක්ක එහේ ගෙදරට ගොඩ වුනේ ඒ මාමගෙ විස්තර දැන ගන්න. මාමට වකුගඩුවක් බද්ධ කරන්න වෙනව කියලත්, මේ වෙද්දි තත්වෙ ගොඩක් හොඳ නෑ කියලත් දැනගන්න ලැබුනා.. මේ කතා බහ අස්සෙ, පුංචි නංගිගෙ ඇස් වල තිබුනු කතාව මගේ හිතට හුඟාක් දැනුනා...


  ගෙයි දොරකඩ පඩිය උඩ,
 වෙනදා හඳ එලිය වැටෙන තැන..
 අප්පච්චිගෙ ඔඩොක්කුව උඩ,
 වෙනදා මං හුරතල් වුන තැන...

 බරවෙලා ගෙයි උලුවස්සට,
 අර පාලු වලාකුළු යායෙම..
 මං හොයනවා අර හඳ පලුව,
 අප්පච්චි මට කීව- හඳ හාවි හැංගිච්ච...

 වෙනදාටත් වඩා දැනෙන පාලුව,
 ඇස් අග ගුලිවෙච්ච කඳුලු බිංදුව..
 කාටවත් නොපෙනෙන්න මම, හංගනවා ගවුමෙ බෝරිච්චියක...

 "ඉක්මනට සනීප වෙලා- අප්පච්චි ගෙදර එන්න",
 ඔඩොක්කුවෙ ඉඳගෙන- ආයෙම කතන්දරයක් අහන්න..
 පුංචි දෝනි දොරකඩ ඉඳන්,
 බලන් ඉන්නවා කඩුල්ල දිහාම...

 -මුදිත්-