වෙලාව හවස හයට කිට්ටුයි. මම ඉන්නෙ කල්පිටියෙ - ඈත උච්චමුණි තුඩ තෙක් විහිදෙන පටු වැලි තීරුව දිගේ ඔහේ ඇවිදින අතරෙ.. මගේ දකුණු පැත්තෙන් ඉතාම සංවේදී කඩොලාන පරිසර පද්ධතියකට ජීවය පොවමින් කල්පිටිය කලපුව විහිදිලා තියෙන අතරෙ වම් පැත්තෙන් කෙළවරක් නැතිව විහිදුණු ඉන්දියානු සාගරය. මෙහෙම කිව්වා වුණත් අර්ධද්වීපයක් වුණු කල්පිටියෙ, මගේ දකුණතින් විහිදෙන කලපුව තැනෙන්නෙත් ඉන්දියානු මහා සාගරයෙන්මයි. ඒ අර්ථයෙන් ඒත් මේත් එකම ඉන්දියානු සාගරයමයි. මේ ගමනට කල්පිටිය යොදාගත්තෙ විශේෂ හේතුවකට නෙමෙයි. මාතර ඉපදුණු හැදුණු වැඩුණු මට, සාගරය- වෙරළ කොහොමටත් දුලබ අත්දැකීම් වුණේ නෑ. අඩුම තරමින් සතියකට වතාවක් වත් මූදු වෙරළට ගිය අතීතයක් මට තිබුණා. මේ වෙලාවෙ මට ඕන කළ වැදගත්ම දේ විවේකය.. නිදහස. මාතරින් පිට වෙරළාසන්න තැනක නිවාඩුවක් ගතකරන්න කවදාවත්ම මට ඕන වුණේ නෑ. මේ වතාවෙ හරිම අහඹුවෙන් මේ ගමන කල්පිටියට යෙදුණා.
මම ඇවිදිමින් ඉන්න වැලි පරය ගූගල් සිතියමේ නම් වුණේ sand route නමින්. ඇත්ත.. උච්චමුණියට යන කෙනෙකුට යන්න තියෙන ගොඩබිම් මාර්ගය මේක - ඒ වගේම මේක වැලි පාරක්. මේ දිගට තැනින් තැන පොල් අතු වලින් කෙරුණු ධීවර වාඩි තිබුණා. සමහරක කිහිප දෙනෙක් බෝට්ටු සූදානම් කරමින් ඉන්නේ බොහෝ දුරට රෑ රස්සාවෙ යන්න වෙන්න පුළුවන්. වෙරළ පුරාම තැනින් තැන බෙලි කටු, කොරල් කැබලිති වගේම ඉඳහිට දැලි පොත්තක් දෙකක්, මැරුණු මාළුවෙක් එහෙමත් විසිරිලා තිබුණා. ඊට ඈතින්, වාඩි වලට මීටර් කීපයක් මෑතින් සාගරය විසින් තරයේම ප්‍රතික්ෂේප කරපු කුණු රොඩු, වැටියක් වගේ ගොඩගැහිලා තිබුණා. මාරුවෙන් මාරුවට හැපෙන බිඳෙන රැළි දිහාත්, මට ඉස්සරහින් විහිදෙන වැලි තීරය දිහාත් බලමින් මම ඇවිද්දා. දවල් ගිනි අව්වෙ රස්නෙ නිවිල තිබුණු නිසාත්, ලුණු වාෂ්පෙන් සීතල වුණු මූදු හුළඟට නිදහසේ මගෙ සැහැල්ලු කමිසෙ අස්සෙන් රිංගන්න බාධාවක් නොතිබුණු නිසාත් කාලයක් තිස්සෙ මග හැරුණු සනීපයක මාව ගිල්වමින් හැන්දෑව ගෙවෙමින් තිබුණා. මගේ ගමන එක සැරේ නතර වුණේ කැපිලා පෙනෙන තරම් හැඩ බෙලිකටුවක් දකින්න ලැබීමෙන්. වෙරළ පුරාම එක එක තරමේ සිප්පි කටු විසිරිලා තිබුණා වුණත් මේ බෙලි කටුව පැහැදිලිවම ඒවායින් වෙනස්. බොහොමයක් අනෙත් කටු දෙපියන් බෙල්ලන්ගෙ. එක්කෝ රුපියල් දෙකේ කාසියක් තරමෙ පොඩි කාවාටි. ඒත් මේ මතුපිට නෙරුම් වලයන් කීපයක් තියෙන තද රෝස පාටකට හුරු අඟල් හයක් විතරවත් දිග බෙල්ලෙක්. මේ ලස්සන පෙනුම හින්දම ඉබේටම වගේ මගේ පියවර ඒ පැත්තට බර වුණා.
එකෝමත් එක ඉස්සර කාලෙකත් මේ වගේම වෙරළෙ ඇවිදලා එද්දි නා නා ප්‍රකාර ජීවිත වල සුන් බුන් එකතු කරන් ආපු පුරුද්දක් මට තිබුණා. එක්තරා මොහොතක කාගෙ හරි ජීවයෙ කොටසක් වෙලා තිබුණු එහෙම දේවල් කාමරේ තැන තැන, පොත් රාක්කෙ උඩ, මේසෙ උඩ නිස්කලංකව සීතලට වැතිරිලා ඉන්න එක මට ගැටළුවක් උනේ නෑ. සමහර සත්තුන්ගෙ ඇට කටු පවා මේ අතරෙ තිබුණා. ඒවයෙ අමුතු පාට, හැඩ තල එහෙම උනේ ඇයි කියන එක ගැන මහ රෑ පාන්දර වෙනකල් කල්පනා කර කර මනෝ ලෝක වල රස්තියාදු ගහන එක, ඒ සමහර රටා, හැඩතල පොඩි නෝට් පොතක සටහන් තියන එක, ඒ කාලෙ මගේ ජීවිතේ ලොකු කොටසක්.. මම හෙමිහිට බෙල්ලා ලඟ ඉඳගත්තා.
![]() |
| ඒක නිකම්ම බෙලි කටුවක් නෙමෙයි... |
![]() |
| සාමාන්‍ය කකුළුවා |
![]() |
| කටුවක් නැති තාපස කකුළුවා |
ඉතින් එතකොට මේ සත්තු වර්ධනය වෙද්දි මොකද වෙන්නෙ? ඒකටත් උත්තරයක් තියෙනවා. ඒ තමයි තමන්ගෙ කටුව තමන්ට ප්‍රමාණවත් නොවෙන්න ගන්න කොට, තමන්ගෙ ප්‍රමාණයට සෑහෙන තරමෙ අලුත් කටුවක් හොයාගන්න එක. එතෙන්දි එක කකුළුවෙක් අතහරින පරණ ගෙදර, ඊට වඩා පුංචි කකුළුවෙකුගෙ අලුත් ගෙදර බවට පත් වෙන්නත් පුළුවන්. විශ්වාස කරන්න පුළුවන්ද, මේ සත්තු විශාලත්වයේ පිළිවෙලට පෙළගැහිලා එක මොහොතක මේ අපූරු ගෙවල් හුවමාරුව ගණුදෙනු දාමයක් විදියට සිද්ධ කරන අවස්ථා තියෙනවා. මේ සබැඳිය එහෙම අවස්ථාවක් ගැන.
මේ කතා අතරට නොකියාම බැරි තවත් එකක් තමයි තාපස කකුළුවා එක්ක මුහුදු ඇනිමොනි (sea anemone) සහජීවී සම්බන්ධය. මේ ගැන උනන්දු කෙනෙකුට ඒ ගැන පොඩි කතාවක් මෙතනින් බලාගන්න පුළුවන්..
තාපස කකුළුවො ගැන එහෙන් මෙහෙන් අහුලගතපු දේවල් ඔලුවට එමින් තියෙද්දි, මම බොහොම උද්‍යෝගෙන් මට හමුවුණු කකුළුවාව නිරීක්ෂණය කරන්න ගත්තා. මීට කලින් මම නොදැකපු විදියෙ කෙඳිමය ස්වභාවයක් මේ කකුළුවගෙ තිබුණා. හරියට වයසක පාටක් වගෙයි ඒ පෙනුම මගෙ ඔළුවෙ සටහන් වුණේ. මේ මුළු වෙලාවටම ඌ කිසිම චලනයක් නොපෙන්නපු නිසා මම ඌට පොඩි තට්ටුවක් දැම්මා.. හරි නම් හැංගෙන්න ඕන. එහෙමයි මේ සත්තු. ඒත් කිසිම හැල හොල්මනක් නෑ. මැරිච්ච එකෙක්.. බොහොම පොඩි වෙලාවකින් මට ඒක පැහැදිලි වුණා. ඒත් මැරිලා ලොකු වෙලාවක් වෙන්න බෑ වගේ එකකුත් ඉවෙන් වගේ මට දැනෙනවා. බොහොම කාලෙකට පස්සෙ අද, මේ වෙලාවෙ - මැරුණු කකුළුවෙකුත්, ඌගෙ අවසාන ගේ පොඩ්ඩ වෙච්ච බෙලි කටුවත්, ඊටත් එපිටින් ඈතින් ඈතට විහිදෙන මහා සාගරයත් ඉස්සරහ උක්කුටියෙන් ඉඳගෙන ඉන්න වෙලාවෙ, මට කාලෙකට පස්සෙ ක්ෂුද්‍ර බවක් දැනෙන්න ගන්නවා. මේ පේන මහ සාගරය.. එකම රහස් ගබඩාවක්..! අනිත් අතින් කලපුව.. වෙනමම ගුප්ත ලෝකයක්..! මට ඉහළින් අහස තවත් ඈතින් ඈතට ඈත් වෙමින් ලෝකය එන්න එන්නම විශාල වෙමින් තියෙනවා.. මට මගේ යටි පතුලට දැනෙන තෙත වැල්ලෙ සංවේදනයේ කළින් දැනුනාට වැඩි සියුම් තීව්‍ර බවක් දැනෙනවා. වෙන වෙලාවක නම් මේක මට නොදැනෙන්න වුණත් බැරි නෑ. අත් පය පවා නුහුරු බවකින්, නුහුරු විදියකට පිහිටලා වගෙයි. ඒ වුණත් මේ නුහුර ඇතුලෙ, මාව කෑල්ලෙන් කෑල්ලට ගලවලා, තිබුණාටත් වැඩිය හරිම මිම්මට හරිම විදියට සවි කළා වගෙ පුදුමාකාර පහසුවක්, සැහැල්ලුවක් තියෙන බව නම් පැහැදිලියි. අභ්‍යන්තර අවයව, කොටින්ම සෛලයෙන් සෛලය පවා..
බෙලි කටුව දිහාට මගේ අත කිට්ටු වුණේ ඉබේටමයි. මේ මම නෙමෙයිද? එහෙමත් නැත්නම් හැබෑම මම, මේ පොඩි මොහොත ඇතුලෙ මට හම්බුණු මම ද..? කාලෙකට ඉස්සර ඔහේ ඇවිදිමින්, අහුල ගතපු රහසක් ගානේ විශ්මපත් වෙමින් ඉඳපු මාව, මේ මායාකාරී මොහොත විසින් නැවත හොයාගත්තු බවක් මට දැනෙනවා. දිය රළක් ඇවිත් ගියා. තව ටිකකින් ඇඳිරි වැටෙන්න නියමිතයි. කකුළුවා විසින් මෙතෙක් දුර අරන් ආපු බෙලි කටුව, මට අමතක නොවෙන මතකයක් වේවි. මේ මොහොත මට විශේෂයි. මම ආපහු යන්න හැරෙනවා. අවුරුදු ගාණකට පස්සෙ, කල්පනා ලෝකෙක දිග රස්තියාදුවක් ගහන්න බෙලිකටුවක් අද මාත් එක්ක අපේ ගෙදර යනවා.
-මුදිත්-
27.12.2025


