Thursday, February 7, 2019

අරුන්, නුඹ හමා එන සුළඟක් ව...

ඉතින් හිතවත,
මළ කෑ සඳ පහන
උතුරු හිස වසාගෙන,
හෙමි හෙමින් ලියන්නේ
නඩු නැතිව විසඳලූ
ජාතියක ඉරණම ද...?

පාට කරදහි ඔතා
විතැන් කල මානව ප්‍රේමයට
හිමි එකම සුදු පැහැය,
කළු ගැහුණු ඇස් දෙකින්
සබඳ,
නුඹ දුටුවේ කෙලෙසද...?

කැඩී ගිය නිය තුඩින්,
කළු ගැහුණු අත් වලින්,
ඇණ ගැසුනු හිත් වලින්,
සබඳ,
ඒ සුදු පැහැය
සොයා ගත්තේ කෙලෙසද...?

මළ කෑවද නැත ද,
සියල් ඉරණම් විසඳන
ඉරණම් දේවතාවා
ගිණි අවිය වූ බිමක..
අතෙහි අවියක් නැතිව
ඔය ලෙසින් නිදැල්ලේ
පිය මනින්නේ කෙලෙසද...?

කට කැඩුණු කරාමයකින්
හෙටත් බොර දිය බොනු උරුම..
ඒ වුණත්
දිගු ශිශිර නින්දක නිදන,
දකුණට...

ජීවිතය කියන්නේ
මිණිය හැකි බිම් කඩක්,
කඳවුරක්, නොවන වග..
උතුරින් ගලා ගෙන එන
දහදිය තෙත මුසුන් වුණ සුළඟක
මානව ප්‍රේමයේ සුසුවඳ..
ස්නායු කම්පිතව
දැනෙන්නේ කෙදිනද...?

-මුදිත්-
2019.02.06


පසු සටහන:
"අරුන් සිද්ධාර්ත් මෛත්‍රියම්" හෙවත් "අරුලානන්දම් අරුන්" ‍යනු මෑත වකවානුවෙහි දකුණ බිය ගැන්වූ "ආවා" නම් කල්ලියේ නායකයා ලෙස, මාධ්‍ය මගින් අනාවරණය කළ තරුණයා ය. සංවිධානාත්මක ත්‍රස්ත කණ්ඩායමක් ලෙස පෙරදී මාධ්‍ය හා දේශපාලකයන් විසින් හඳුන්වනු ලැබූ ආවා කල්ලි නායක අරුන්, පසුගිය දිනක රූපවාහිනී නාලිකාවක පැවති සංවාද වැඩසටහනක් සඳහා සම්බන්ධ විය. එහිදී ඔහු විසින් අනාවරණය කළ, මාධ්‍ය කෙරෙන් වසන් වූ උතුරෙහි කටුක ජීවන යථාර්තය, වැඩසටහන මෙහෙය වූ මාධ්‍යවේදියා පවා අතිශය සංවේදීත්වයට පත් කළේය. අවස්ථා කිහිපයකදීම හැඟුම්බර වෙමින් අරුන් කියා පෑ බොහෝ දේ "උතුරෙහි තරුණයෙකු" වශයෙන් නොව "ශ්‍රී ලාංකික තරුණයෙකු" ලෙස ඔහු තුළින් පැන නැඟි බව වැඩසටහන පුරා කැපී පෙනුනි. ජාතිවාදය වැනි පුහු සංකල්ප ඔස්සේ නිර්වින්දිතව, සිය තාරුණ්‍යය බොල් කරගත් උතුරෙහි මෙන් ම දකුණෙහිද බහුතරයක් වන තරුණ පිරිස් අතර සිටින අරුන් වැනි තරුණයන්, අනාගතය වෙත දිවෙන උණුසුම් බලාපොරොත්තුවක ආලෝකයක් සමාජය තුළ දල්වන්නේ නිතැතිනි. මේ ලියැවුනු වචන ගැලපුම ඔහු/ඔවුන් වෙනුවෙනි.


No comments:

Post a Comment